Pages

Monday, April 8, 2013

වර්ණ උෂ්ණත්වය - White Balance


අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ ආලෝකයේ වර්ණ උෂ්ණත්වය ගැන සහ කැමරාවේ වයිට් බැලන්ස් කිරීම ගැන. මේ කරුණු ගැන අපි ඉතාමත්ම සරලව සලකා බලමු.

මොකක්ද මේ වර්ණ උෂ්ණත්වය?

අපිට  ලැබෙන ආලෝකය විවිධ වර්ණ වලින් යුක්ත බව ඔබ දන්නවා, අපේ  ප්‍රධාන ආලෝක  ප්‍රභවය වන සුර්යයා ගෙන් ලැබෙන ආලෝකයේ වර්ණය දවසේ ඒ ඒ වේලාවන් අනුව වෙනස් වන බව අපි දන්නවා. හිරු පායා එනවිට මෙන්ම, හිරු  බැසයන විටත් හිරු රැස්  රත් පැහැයක් ගන්නා බව අපි දැකලා තියෙනවා. නමුත් දවල් කාලයේ හිරු රැස්  ඉතා දීප්තිමත් සුදු පැහැයක් ගන්නවා.

දැන් ඉටිපන්දම් ආලෝකයක් මතකයට නගා ගන්න. එහි දැල්ල කහ පැහැයක් ගන්නවා. නමුත් සුත්‍රිකාව සහිත විදුලි බුබුලකින් ලැබෙන ආලෝකය කහ පැහැ උවත්, එය ඉටිපන්දම් දල්ලට වඩා දීප්තිමත් මෙන්ම එහි කහ පැහැය , සුදු පැහැයට වඩා සමීප බවක් දක්වනවා.  මේ බල්බයේ ආලෝකය ටියුබ් බල්බයක් සමග සංසන්දනය කළහොත් ටියුබ් බල්බයේ ආලෝකය වඩාත් සුදු පැහැයට ආසන්න බවක් පෙනෙනවා.

 බොහෝ දෙනෙක් දැකලා ඇති නේද පැට්‍රොල් මැක්ස්  කියන ලාම්බු වර්ගය, එහම නැත්නම් බන්සන් දාහකය.



මේ වර්ග වල  ලාම්පු පත්තුකරන ආකාරය දැකලා තියෙනවා නේද?  මේවා මුලින් පත්තු කල ගමන් කහ ආලෝකයක් ගන්නවා , නමුත් එහි උෂ්ණත්වය වැඩි කරන විට එම ආලෝකය නිල්  පැහැයක් ගන්නවා. ගෑස් ලිප උනත් එහෙම තමයි.

හොඳයි දැන් මේ කාරනා වලින් අපට තේරෙනවා විවිධ ආලෝක ප්‍රභවයන් ගෙන් ලැබෙන ආලෝකයේ වර්ණය වෙනස් බවත්,  එකම ආලෝක ප්‍රභවයක  උවත් ඒ ඒ අවස්ථා අනුව ලැබෙන ආලෝකයේ වර්ණය වෙනස් වන බවත් ( සුර්යාලෝකය) . එමෙන්ම ඒ ඒ ආලෝකයට අනුව එහි උෂ්ණත්වය වෙනස් වන බවත්.

මෙන්න මේ ආලෝකයේ ඇති උෂ්ණත්වය තමයි වර්ණ උෂ්ණත්වය කියන්නේ. මෙය මනින ඒකකය වන්නේ කෙල්වින් කියන ඒකකයයි. පහල තියෙන රුපය බලන්න 


මේ අනුව දැන් ඉතාම පැහැදිලි වෙනවා වැඩි වර්ණ උෂ්ණත්වයක් ඇති විටදී නිකුත් වන ආලෝකය නිල්  පැහැ  වෙන අතර අඩු වර්ණ උෂ්ණත්වයක් ඇති විටදී නිකුත් වන ආලෝකය රතු පැහැ වෙන බව.

වර්ණ උෂ්ණත්වය ඡායරුපයට සිදුකරන බලපෑම.

ලෝකයේ තියෙන  ඉතාම හොඳම කැමරාව වන අපේ ඇසට මෙම ආලෝකයේ ඇතිවන වර්ණ වෙනස එතරම් ප්‍රශ්නයක් නොවුවද, කැමරාවට මෙය දැඩි ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා විවිධ වර්ණ උෂ්ණත්වයන් මත ඡායාරුප ගැනීමේදී  එම ආලෝකයට අදාළ වර්ණය මුළු ඡායාරුපය පුරා පැතිරී ඇති ආකාරයක් දකින්නට ලැබෙනවා. 
වැඩි වර්ණ උෂ්ණත්වයක් ලැබුන විට  නිල් පැහැ ගනී 

අඩු වර්ණ උෂ්ණත්වයක් ලැබුන විට  රත් පැහැ ගනී 
මේ දෝෂය මගහැරීම සඳහා,  කැමරාවට අප භාවිතා කරන ආලෝකයේ වර්ණ උෂ්ණත්වය ලබාදිය යුතු වෙනවා. එවිට ඒ අනුව කැමරාව, එම අගය සහිත වර්ණය සුදු වර්ණය ලෙස හඳුනා ගන්නවා.  එවිට අනිකුත් වර්ණ නිසි ලෙස සටහන් වෙනවා.

උදාහරණයක් ලෙස මෙහෙම හිතන්න. අපි සුදු පැහැති  කමිසයක් ඇඳගත් කෙනෙකුගේ ඡායාරුපයක්, 1000 සිට 2000 දක්වා කෙල්වින් අගය ඇති ඉටිපන්දම් ආලෝකයකින් ගත්තා කියලා. එතකොට සිදුවන්නේ එම වර්ණ උෂ්ණත්වයට අදාළ වර්ණය වන රතු පැහැය මුළු ඡායාරුපය පුරාවටම දකින්නට ලැබීමයි. ඔහු ඇඳ සිටින සුදු කමිසය රතු පැහැයෙන් දැක්වෙනු ඇත.  නමුත් මේ අවස්ථාවේදී කැමරාව එම රතු ආලෝකය, සුදු පැහැ  ආලෝකයක් ලෙස දකිනවානම්, ඔහුගේ කමිසය රතු පැහැ  නොවී සුදු පැහැයෙන්  සටහන් වනු ඇත. එමෙන්ම මුළු ඡායාරුපය පුරාවටම දකින්නට ලැබෙන රත් පැහැ  ස්වභාවය නැතිවී යනු ඇත.

මෙන්න මේ දේ තමයි අපි White Balance  කරනවා කියලා කරන්නේ. බොහෝ කැමරා වල මේ වයිට් බැලන්සින්  කිරීම සඳහා කෙල්වින් අගයන් දෙන්නේ නැහැ. ඒ වෙනුවට නිෂ්පාදකයන්,  අපිට බොහෝවිට දකින්නට ලැබෙන ආලෝක ප්‍රභවයන් වෙනුවෙන් සංකේත ලබා දී ඒ වෙනුවෙන් කැමරාවේ අගයන්  සකසා තිබීමයි. (preset). ඉහත වර්ණ උෂ්ණත්වයන් සඳහන් කල සටහනේ එම සංකේත දක්වා ඇති ආකාරය බලන්න. 

නමුත් සමහර කැමරා වල මේ පෙර සැකසුම් අගයන්ට අමතරව තමන්ටද වයිට් බැලන්සින්  කිරීම සඳහා  option  එකක් ලබාදෙනවා. එවිට තමන් භාවිතා කරන ආලෝකය දෙසට සුදු පැහැ   කඩදාසියක් අල්වා එය සුදු ලෙස සටහන් වන ලෙස කැමරාව සුසර කරගත යුතු වෙනවා. නමුත් මේ සඳහා වඩාත් සුදුසු වන්නේ expodisk  නම් පහත උපකරණය කැමරාවට සවිකර කැමරාව වයිට් බැලන්ස් කිරීමයි.



මොකක්ද මේ Auto White Balance 

මෙම Auto  මෝඩ්  එක භාවිතයෙන් බොහෝ කැමරා වල වයිට් බැලන්ස් කිරීම කැමරාව මගින් ස්වයන්ක්‍රියව සිදු කෙරෙනවා. බොහෝ අවස්ථාවල මෙම auto මොඩ් එකෙන් සාර්ථක පුතිපල  ලබාගත හැක. ඉතාමත් විශේෂ අවස්ථාවකදී හැර අන් සියලුම අවස්ථාවන්හිදී මං  තුමා යොදාගන්නේ auto  මෝඩ්  එක.

පොඩි ක්‍රියාකාරකමක් 

පහත දැක්වෙන රුප පෙළ හොඳින් බලන්න. එහි අංක සහ එම අවස්ථාවේදී යොදාගත් වයිට් බැලන්ස් පෙරසැකසුම් සන්කෙතයත් දක්වා ඇත. මේ සියල්ලම රු ගත කලේ වලාකුළු සහිත, සවස එලි  මහනේදී.





මෙහි අංක 3 auto  මොඩ්  එකෙන් ගත්  රුපය ඉතා නිවැරදි ලෙස ගත හැක.  අංක 2 රූපයත් බොහෝ දුරට නිවැරදි වේ. නමුත් මේ වෙනසට හේතුව වන්නේ පෙර සැකසුම් අගය "Cloudy" වීමයි.  එම වස්තාවේදී කැමරාව බොහෝ විට සිතන්නේ දහවල් කාලයේ වලාකුළු සහිත අවස්ථාවක් ලෙසයි.

දැන් අපි අංක 6 රුප රාමුව බලමු 

මේ අවස්ථාවේදී වයිට් බැලන්ස් මොඩ්  එක භාවිතා කලේ බල්බ් ලෙසයි. එහෙමනම් මේ රුපය මෙතරම් නිල් පැහැ  උනේ කොහොමද? බල්බ් කියන්නේ කෙල්වින් 2500 - 3000 අතර අගයක් බව ඉහත සටහනේ පෙනෙනවා නේද? ඒ කියන්නේ මෙම අවස්ථාවේදී කැමරාව බලාපොරොත්තු වන්නේ කෙල්වින් 2500 - 3000  අතර අගයක්. නමුත් මේ ඡායාරුප ගනු ලැබුවේ වලාකුළු සහිත, සවස එලි  මහනේදී. එවිට එම අවස්ථාවේ වර්ණ උෂ්ණත්වය  සවස බැවින්, කෙල්වින් 6500 - 8000 ට වඩා මදක් අඩු බව සිතිය  හැක. (කෙල්වින් 5500-6000  විය හැක) . එනම් කැමරාව බලාපොරොත්තු වනවාට වඩා ඉතා වැඩි වර්ණ උෂ්ණත්වයක්  එම නිසා එම ෆොටෝ එක නිල්  පැහැ ගැනී  ඇත.

අංක 4 සහ 5 රුප රාමු එලෙසම සාපේක්ෂව නිල්  පැහැය වැඩි වී ඇති ආකාරය ඉහත උදාහරණය ඇසුරෙන් කල්පනා කරන්න.


අංක 1 රුපය රතු  වර්ණයට වඩා නැඹුරු වුයේ කෙසේද?

මෙමෙ ඡායාරුප ගනු ලැබූ අවස්ථාවේ වර්ණ උෂ්ණත්වය කෙල්වින් 5500 -6000 පමණ වන්නට ඇති බව උපකල්පනය කලානේ. මේ අංක 1 රුපය  ගනු ලැබුවේ Shade කියන මෝඩ්  එක භාවිතා කරමින්. ඉහත හටහන අනුව Shade අවස්ථාවේ වර්ණ උෂ්ණත්වය කෙල්වින් 6500-8000 පමණ වෙනවා. එනම් කැමරාව බලාබොරොත්තු වන්නේ එවැනි වූ අගයකින් යුත් ආලෝකයක්, නමුත් මෙය ඡායාරුප ගත කල අවස්ථාවේදී වර්ණ උෂ්ණත්වය ඊට වඩා මදක් අඩු බැවින් රුපය මද රත් පැහැයක් ගෙන තියෙනවා.


මේ පොස්ට් එක කියවීමෙන් වර්ණ උෂ්ණත්වයේ වෙනස ඡායරුපයට බලපාන්නේ කෙසේද යන කරුණු පැහැදිලි වන්නට ඇති. නමුත් ඡායාරුප ශිල්පය යනු ප්‍රායෝගික විෂයක් බැවින් ඔබගේ කැමරාවේ වර්ණ උෂ්ණත්වයන් වෙනස් කරමින් එය බලපාන ආකාරය ගැන මනා දැනුමක් ලබාගන්න.

Tuesday, March 26, 2013

කැමරාවේ AUTO මොඩ් එකෙන් Manual


අද පොස්ට් එකෙන් කියලා දෙන්න යන්නේ ඩිජිටල් කැමරා එකේ ඇති Exposure Compensation ඔප්ෂන් එක ගැන.   සෑම  ඩිජිටල්  කැමරාවකම (ෆෝන් කැමරා බොහොමයකත් ) මේ Exposure Compensation පහසුකම තිබුනත් බොහෝ දෙනෙක් මේ ගැන නොදන්නා නිසාම මේ පහසුකම භාවිතා කරන්නේ නැහැ.

බොහෝවිට ඡායාරුප ගැනීමේදී , නිවැරදි අනාවරණය ලබාගැනීම  සඳහා Auto, Shutter Priority, Aperture Priority, Programme වැනි ක්‍රමයන් ( modes) භාවිතා කරනවා.


ඩිජිටල් කැමරාවේ ඇති නිරවද්‍යතාවය නිසාම, මෙම අනාවරණ ක්‍රමයන් භාවිතයෙන් ඉතාම නිවැරදි අනාවරණය ලබාගත හැකි වුවත්,  සමහර අවස්ථාවන්හිදී එම ලැබෙන ඡායාරුපය, ඊට  මදක් සුළු ප්‍රමාණයකින් මන්ද අනාවරණයකට හෝ සුළු වශයෙන් අධික අනාවරණයකට ලක්වුවා නම් වඩා හොඳින් එහි අදහස ඉස්මතු වේයැයි ශිල්පියාට හැඟීයන අවස්ථා ඇත. එවැනි වූ අවස්ථාවන්හිදී Manual Exposure  එකකට නොයා මෙම Exposure Compensation ඔප්ෂන් එක මගින් අනාවරණයේ අවශ්‍ය වෙනස්කම කරගත හැක.

Exposure Compensation  වෙනස් කිරීමට ඇති button එක තෝරාගෙන තමන්ට අවශ්‍ය කරන ප්‍රමාණයට අනාවරණය අඩු හෝ වැඩි කරගත හැක. ඩිජිටල් කැමරාවල Exposure Compensation එක වෙනස් කිරීමට ඇත්තේ අනාවරණ කාලයෙන් කොටස් වශයෙනි. (Exposure Compensation step values)

මෙලෙස Exposure Compensation එක අගයකින් අඩු කළා යයි සිතමු. එවිට ඉහත auto ක්‍රමයන් මගින් ගන්න ඡායාරුප එක අගයකින් මන්ද අනාවරණයකට ලක් වේ. 

පහත රුපයෙන් දැක්වෙන්නේ Exposure Compensation අගයන් 1 බැගින් වෙනස් කරමින් ගත් ඡායාරුප එකතුවකි.


පහත රුපයෙන් දැක්වෙන්නේ Exposure Compensation අගයන් 1/3 බැගින් වෙනස් කරමින් ගත් ඡායාරුප එකතුවකි.



එම රුප දෙක හොඳින් නිරීක්ෂණය  කරන්න. 0 ලෙස සටහන් වී ඇත්තේ Exposure Compensation  අගය 0 වූ විට කැමරාව auto mode එකේදී ඡායාරුපය සටහන් කරගන්නා ආකාරය මෙන්ම ඒ අගයන් වෙනුවෙන්  Exposure Compensation  වෙනස් කලවිට එය ඡායාරුපය සටහන් කරගන්නා  ආකාරයත්ය .


මේ ආකාරයට Exposure Compensation ඔප්ෂන් එක භාවිතයෙන් වෙනස් අගයන් සහිත ෆොටෝ කීපයක් අරගෙන මෙය ප්‍රයෝගිකව තේරුම් ගන්න.


විවිධ කැමරා වල  Exposure Compensation button  එක විවිධ තැන් වල ස්ථානගත කර ඇති අතර සමහර කැමරා වල සහ විශේෂයෙන්ම ෆෝන් කැමරා වල මෙය menu  එක තුල දක්වා ඇත.







Exposure Compensation  දක්වන සම්මත සලකුණ 




Monday, March 11, 2013

කලාත්මක ඡායාරුප නිර්මාණයේදී - ආලෝකය සහ කාච


කලාත්මක ඡායාරුපයක් නිර්මාණයේදී වැදගත් වන මුලික කරුණු වන ඡායරුපයේ සැකැස්ම  ගැන මෙන්ම ඡායරුප ගැනීමේදී එහි අනාවරණය  ගැන තොරතුරුත්  මිට කලින් පොස්ට් දෙකෙන් අපි ඉගෙන ගත්තා. අද  අපි කතාකරන්නේ ආලෝකය සහ කාච භාවිතා කලයුතු ආකාරය ගැන.

ස්වභාවික ආලෝකය. (available light)

හැකි සැම  විටම එම අවස්ථාවේ පවතින ස්වභාවික ආලෝක ප්‍රභවය භාවිතා කිරීමෙන් ඡායාරුපය ගැනීමට උත්සහ කරන්න. ෆ්ලෑෂ් (flash) ආලෝකය භාවිතා කිරීමෙන් එම අවස්ථාවේ ස්වභාවික තත්වය (intimate mood) විනාශ විය හැක.  (ෆ්ලෑෂ් ආලෝකය නිර්මාණශීලිව භාවිතය ගැන වෙනම කතා කරමු ) රාත්‍රී කාලයේදී  ද,  හැකිනම් ස්වභාවික ආලෝකයෙන් ඡායාරුපය නිර්මාණය කිරීමට උත්සහ ගන්න.
Fuji HS20 Camera :  1.5 sec , f 2.8,  ISO 200

Fuji HS20 Camera :  1/26 sec , f 2.8,  ISO 800


පැති ආලෝකය  භාවිතය. (using sidelight) 

හැකි සෑම  විටකම පැති ආලෝකයක් භාවිතා කරන්න. අලේඛ්‍ය (Portrait) ඡායාරුප වලදී කෙලින්ම ඉදිරිපසින් වැටෙන ආලෝකයෙන් ගැඹුර නොපෙනී යන අතර (flatten effect) කෙලින්ම හිස මතට ආලෝකය පතිත වීමෙන්, ඇස් සහ නිකට යට අඳුරු පැහැ  ගැනේ. උදයේ සහ සවස ඇති හිරු  එලිය පති ආලෝකය සපයන හොඳ ආලෝක ප්‍රභවයන් වේ. එමෙන්ම ජනෙල්, දොරවල් තුලින් ලැබෙන ආලෝකය පැති  ආලෝකයක් ලෙස යොදාගත හැක. පහත ඇත්තේ ජනේලයක් තුලින් ලබාගත් ආලෝකයෙන්  ගත්  ඡායාරුපයකි. 

Fuji S2950 camera: 1/30, f 5.3, ISO 800

Nikin D5100 camera: 1/250, f 5.3, ISO 250

Nikin D5100 camera: 1/30, f 5.3, ISO 800


Against the Light 

ඡායාරුප ගැනීමේ සම්මත ක්‍රමය වන්නේ, ආලෝක ප්‍රභවය ශිපියාට පිටිපසින් පිහිටන ආකාරයට වස්තුව ස්ථාන ගතකිරීමයි. නමුත් මෙම ක්‍රමයේදී කැමරාව ඉදිරියෙන් ආලෝක ප්‍රභවය පිහිටන ලෙස වස්තුව ස්ථාන ගත කෙරේ. මෙම ක්‍රමය Against the Light Photography  නැතහොත් Sellout Photography ලෙස හඳුන්වයි. මේ ගැන විස්තරාත්ම ලිපියක් පසුවට.

Fuji HS20  camera: 1/280, f 3.6, ISO 100

Flash Photography

ඉතා සුලබ ලෙස බාවිතා කරන කෘත්‍රීම ආලෝක ප්‍රභවය වන්නේ Flash Gun එකය. බොහෝවිට Flash කිරීමේදී  භාවිතා කරන්නේ කැමරාවෙහි ඇති ෆ්ලෑෂරය   හෝ අතිරේක  Flash Gun එක කැමරාවට සවිකර වන අතර,  එසේ direct flash  ලබා දීමෙන් කලාත්මක ඡායාරුප නිර්මාණය  අපහසු වේ.  නමුත් Flash Guns  කීපයක් භාවිතා කිරීමෙන්,  ෆ්ලෑෂ් කිරීමෙන් ලැබෙන  ආලෝකය පරාවර්තනය කර වස්තුව වෙත යොමු කිරීමෙන් සහ  කැමරාවට සවි නොකර flash  එක භාවිතයෙන් අපට අවශ්‍ය ලෙස ආලෝකය සපයා ගත හැක. මේ ගැනද වෙනම කතා කරමු.

Fuji S2950 camera: 1/50, f 4.2, ISO 100

කෘත්‍රිම ආලෝකය 

ෆ්ලෑෂ් ආලෝකය කෘතීම ආලෝකයක් උවද මෙහෙදී මා විශේෂ අවධානය යොමු කරනුයේ  රිෆ්ලෙක්ටර්  උපයෝගී කරගෙන ආලෝකය සැපයීමය.

මෙවැනි අවස්ථාවන් හිදී, ආලෝක ප්‍රභවය ලෙස CFL බල්බ්, flash ගන්ස් වැනි ආලෝක ප්‍රභවයන් භාවිතා කල හැක. ඔබ සතුව මෙවැනි උපකරණ කට්ටලයක් තිබේ නම් විවිධ පැති  වලින් ආලෝකය සපයා ඡායාරුප ගත හැක. පහත දක්වනුවේ එලෙස CFL  බල්බ් යොදා ගනු ලැබූ ආලේඛ්‍ය ඡායරුපයකි.

Fuji HS20 camera: 1/100, f 4.5, ISO 1600


උපයෝගී කරගන්නා  කාචය.

ඡායාරුප ගත  කිරීමේදී, ඒ සඳහා භාවිතා කරන කාචයේ නාභි දුර ගැන සැලකිලිමත් වන්න. දර්ගන (landscape, seascape ) සඳහා අඩු නාභි දුරක් ඇති කාච (wide angle lens) සුදුවූ වන අතර,  එමගින්  වැඩි  පරාසයක ඡායාරුපයක් ගැනීමට හැකි වීම මෙන්ම වැඩි ශේෂ්ත්‍ර ගැඹුරක් ඇති ඡායාරුපයක් ලබාගත් හැක. පළමුවෙනි ඡායාරුපය බලන්න.

අලේඛ්‍ය ඡායාරුප සඳහා මධ්‍යස්ත ප්‍රමාණයේ ටෙලි ලෙන්ස්  වඩා සුදුසු වේ. නාභි දුර 80 - 135 දක්වා. එයින් පසු බිම අපැහැදිලි කර රුපය ඉස්මතු කල හැක. 4 වෙනි ඡායාරුපය බලන්න.

වන ජීවී ඡායාරුප කරණයේදී මෙන්ම  sports photography  වලදී අනිවාර්යයෙන්ම අවම ලෙස මි.මි. 200 ක හෝ නාභි දුරකින් යුත් කාචයක් භාවිතා කල යුතු වේ.  නමුත් කුරුල්ලන්ගේ ඡායාරුප ගැනීම සඳහා නම් අවම ලෙස මි.මි. 300 ක හෝ නාභි දුරකින් යුත් කාචයක් අවශ්‍ය බව මගේ අත්දැකිම වේ.


Thursday, March 7, 2013

අනාවරණය - Exposure


අපේ ගියවර පොස්ට් එකෙන් කතා කලේ ඡායාරුපයේ සැකැස්ම - composition  ගැන.  අද පොස්ට් එකෙන් කතා කරන්න යන්නේ  අනාවරණය එහෙම නැත්නම් Exposure එක ගැන. මොකක්ද මේ අනාවරණය කියන්නේ? අපි හැමෝම දන්නවා ඡායාරුපයක් හැදෙන්නේ කාචය තුලින් ගමන් කරන ආලෝකය, කැමරාව තුල ඇති සෙන්සර් එක මතට (ෆිල්ම් කැමරාවක නම් ෆිල්ම් එක මතට )  පතිත වීමෙන් කියලා. මෙලෙස සෙන්සර් එකට හෝ ෆිල්ම් එක  මතට ආලෝකය ලබාදීම තමයි අනාවරණය කියන්නේ. 

නිවැරදි ඡායාරුපයක්  ලබා ගැනීමට මේලෙස සෙන්සර් එක මතට පතිත වන ආලෝක ප්‍රමාණය පාලනය කලයුතු වෙනවා.  එනම් අනාවරණය  පාලනය (exposure control)  කලයුතු වෙනවා. එලෙස අනාවරණය පාලනය නොකළහොත්  සෙන්සරය මතට වැඩි ආලෝකයක් ලැබුන විටදී  (over expose) ලැබෙන ඡායාරුපය සුදු පැහැ  වැඩි වෙන අතර, අඩු ආලෝකයක් ලැබීමෙන් (under expose) ඡායාරුපය     අඳුරු වේ. පහත ඡායාරුප බලන්න. 

නිවැරදි අනාවරණය 

අධික අනාවරණය 

මන්ද අනාවරණය 

ඉහත රුප අධ්‍යයනය කිරීමෙන් නිවැරදි අනාවරණයක්  ලබා දීම ඉතා වැදගත් බව පෙනේ. අනාවරණය පාලනය කිරීම සඳහා යොදාගන්නේ;
  • කාච  විවරය : Aperture 
  • ද්වාර වේගය :Shutter Speed 
  • සංවේදීතාවය:  ISO  (Sensitivity) ඩිජිටල් කැමරා වල පමණි. 

කාච  විවරය : Aperture (අනාවරණය සහ ශේෂ්ත්‍ර ගැඹුර D.O.F පාලනය කරයි)

කාච  විවරය : Aperture ලෙස හඳුන්වන්නේ කැමරා කාචය තුල ඇති ඩයප්‍රමයක්  මගිත් පාලනය කරන කාචයේ ඇති විවරයේ ප්‍රමාණයයි. 

එක ජනේලයක් ඇති කාමරයකට ලැබෙන ආලෝකය එම ජනේලයේ විශාලත්වය අනුව අඩු වැඩි වෙන ලෙසම මෙම කාච විවරයේ විශාලත්වය මත සෙන්සරයට හෝ ෆිල්ම් එක මතට ලැබෙන ආලෝකයේ ප්‍රමාණය අඩු වැඩි කල හැක. 

මෙම කාච විවරයේ ප්‍රමාණය f -stop  number  ලෙස හැදින්වේ. එම අගයන් දක්වන්නේ මෙවැනි වූ ආකාරයකටයි. f/22, f/16, f/11, f/8, f/5.6, f/4, f/3.5..... f හි අගය විශාල වන විට විවරයේ ප්‍රමාණය කුවා වන අතර f අගය කුඩා වන විට  විවරයේ ප්‍රමාණය විශාල වේ. උදා: f /22 කුඩා කාච  විවරයක් වන අතර f /2. 8 විශාල කාච විවරයක් වේ.

  • විශාල කාච විවරය (small f-stop number) :සෙන්සරයට වැඩි  ආලෝකයක්  + අඩු  (shallow) D.O.F 
  • කුඩා කාච විවරය (large f-stop number) :සෙන්සරයට අඩු ආලෝකයක්  + වැඩි   (large ) D.O.F 


Depth of Field හෙවත් ශේෂ්ත්‍ර ගැඹුර ගැන මෙතනින් කියවන්න.: Depth of field in Photography



ද්වාර වේගය : Shutter Speed (අනාවරණය සහ චලනය පාලනය කරයි)


කාච විවරය මෙන්ම ද්වාර වේගය හෙවත් shutter speed මගින් සිදුකරනු ලබන කාර්යය වන්නේද සෙන්සරය සෝ ෆිල්ම් එක මතට ලැබෙන ආලෝකයේ ප්‍රමාණය පාලනය කිරීමයි. මෙහිදී සිදුවන්නේ සෙන්සරය වසා සිටින shutter curtain එක විවෘත  වී නැවත වැසියාමයි. මෙලෙස ශටරය  විවෘත වී තිබෙන කාලය අනුව සෙන්සරය මතට ලැබෙන ආලෝකයේ ප්‍රමාණය අඩු, වැඩි වේ.

මෙලෙස ශටරය විවෘත වී තැබෙන කාලය තත්පරයෙන්  කොටස් ලෙස  දක්වනු ලැබේ. එය shutter speed ලෙස හැඳින් වේ. එම ශටර් වේගයන්  දක්වනු ලබන්නේ 1/4000, 1/2000, 1/1000, 1/500, 1/250, 1/125, 1/60, 1/30, 1/15, 1/8, 1/4, 1/2, 1 ......B  ලෙසයි. 

මෙහි 1/4000 යනු  තත්පරයකින් 4000න්  එකක කාලයක් ෂටරය විවෘත වී තිබීමය. ,  1/30 යනු තත්පරයකින් 30න්  එකක කාලයක් ෂටරය විවෘත වී තිබීමය,  1/2 යනු තත්පර බාගයක කාලයක් ෂටරය විවෘත වී තිබීම වන අතර  1 යනු සම්පුර්ණ තත්පරයක කාලයකි.  B (බල්බ්) ලෙස දැක්වෙන අවස්ථාවේදී , ෂටරය ක්‍රියාත්මක කරන button  එක ඔබාගෙන සිටින  මුළු කාලය තුලදීම ෂටරය විවෘත වී තිබේ.

Focal Plane Shutter

DSLR කැමරාවක Focal Plane ෂටරය  වැඩකරන ආකාරය 


ද්වාර වේගය වැඩි කරන විට සෙන්සරය හෝ  ෆිල්ම් එක මතට ලැබෙන ආලෝකයේ ප්‍රමාණය අඩු වේ. අඩු ආලෝක තත්වයන් හිදී වැඩි ද්වාර වේගයන්  යොදාගැනීමට නොහැකි වන අතර එවිට අඩු ද්වාර වේගයක්  භාවිතා කිරීමට සිදුවේ. නමුත් 1/60 වඩා අඩු  වේගයන් භාවිතයේදී, අතේ ඇතිවන සුළු චලනයකින් මුළු ඡායරුපයේ ම  චලනයක් සටහන් වේ. මෙය camera shake ලෙස හඳුන්වන අතර එය ඡායාරුප කරණයේදී  විශාල දෝෂයකි.
camera shake දෝෂය  සහිත  ඡායාරුපයක් 
මෙම දෝෂය මගහරවා ගැනීමට tripod එකක් භාවිතා කල හැක. නමුත් එවැනි අවස්ථාවන්හිදී, නිසල වස්තුන් චලනය රහිතව ඡායරුපයෙහි සටහන් වන අතර, චලනයක් සහිත වස්තුන්ගේ චලනය ඡායරුපයෙහි සටහන් වේ. මෙම චලනය සටහන් වීම  motion  blur ලෙස හැදින්වේ.

කිසිම චලනයක් සටහන් නොවූ, ඉතා පැහැදිලි ඡායාරුප සෑම  විටම ඉතාම හොඳ යැයි  කිව නොහැක. සමහර අවස්ථාවන්හිදී ඡායාරුපයක චලයන පෙන්වීම තුලින් එහි අදහස වඩා ඉස්මතු කර පෙන්විය හැක. අඩු  ද්වාර වේගයක් භාවිතා කිරීමෙන් චලනය සටහන් කරගත්  පහත ඡායාරුපය බලන්න.


මෙහිදී චලනය සටහන් වී ඇත්තේ ගමන් කරන තැනැත්තියගේ පමණි. එම රුපයේ ඇති අනිකුත් වස්තුන් නිසලව තිබේ. එබැවින් මෙය නරඹන කෙනෙකුට, මෙම තැනැත්තිය  ගමන් කරන බව තේරුම් ගත හැක.

යම් ලෙසකින් මෙම තැනැත්තියගේ චලනය සටහන් නොවුනානම්, ඇය ගමන් කරන්නේද, නැතහොත් නිසලව සිටගෙන සිටින්නේදැයි කීමට නොහැක.

දැන් පහත රුපය බලමු.


මෙහිදී , බයිසිකලයේ චලනය සටහන් නොවුවද ,පසුබිමේ චලනය සටහන් කිරීම් තුලින් , බයිසිකලයේ වේගය සහ එය ගමන්කරන බව පෙන්වා ඇත.
  • වැඩි  ද්වාර වේගය (high shutter speed) :සෙන්සරයට අඩු  ආලෝකයක්  + චලනය නැත / අඩු 
  • වැඩි  ද්වාර වේගය (slow shutter speed) :සෙන්සරයට වැඩි  ආලෝකයක්  + චලනය ඇත  

කාච විවරය සහ  ද්වාර වේගය පාලනය කිරීම තුලින් අනාවරණය (Exposure) පාලනය කරන ආකාරය පැහැදිලි ඇතැයි  සිතන අතර ඩිජිටල් ඡායාරුප කරණයේදී, මිට අමතරව සෙන්සරයේ සංවේදීතාවය වෙනස් කිරීම මගින්ද අනාවරණය සකසා සත හැක.

සංවේදීතාවය : ISO (අනාවරණය සහ Noise)

ISO යනුවෙන් හඳුන්වන්නේ සෙන්සරයේ සංවේදීතාවය මනින ඒකකයයි. ISO අගය අඩු වන විට සෙන්සරයේ සංවේදීතාවය අඩු වන අතර, ISO  අගය වැඩි වන විට සෙන්සරයේ සංවේදීතාවය වැඩි වේ. සාමාන්‍යයෙන් වැඩි ISO  අගයන් භාවිතා කරන්නේ අඩු ආලෝක තත්වයන් යටතේ, වැඩි ද්වාර වේගයක්  භාවිතා කිරීමටය. නමුත් ISO  අගය වැඩි වන විට ඡායරුපයේ Noise ප්‍රමාණය වැඩි වේ. Noise ලෙස හදුන්වන්නේ ඡායරුපහේ දක්නට ලැබෙන තිත් වැනි වූ ස්වභාවයයි.

පහත ඡායාරුප බලන්න.

ISO 800


ISO  3200

ISO  3200 යොදා ගත්  ඡායරුපයේ  Noise ප්‍රමාණය වැඩිවී ඇති ආකාරය බලන්න. මෙසේ Noise වැඩි වීම ඡායරුපයේ දෝෂයක් වන අතර, හැකි සැම  විටම අඩු ISO  අගයන් යොදා ගනිමින් Noise අඩුකිරීමට උත්සාහ කරන්න. නමුත් ඉතා අඩු ආලෝක තත්වයක් මත  ඡායාරුපය ගැනීමට අවශ්‍යනම්, Noise අමතක කර ෆොටෝ එක ගන්න. 
  • අඩු ISO  අගය  (low ISO ) :සෙන්සරය  ආලෝකයට අඩුවෙන්  සංවේදී වීම   + අඩු Noise ප්‍රමාණය
  • වැඩි ISO  අගය  (high ISO ) :සෙන්සරය  ආලෝකයට වැඩියෙන්  සංවේදී වීම  +වැඩි  Noise ප්‍රමාණය

දැන් නැවතත් ෆොටෝ ගන්න ඉගෙන ගන්න  පොස්ට් එකේ ඇති කැමරා සිමුලටරේට ගිහින් මේ අගයන් වෙනස් කරමින් ෆොටෝ ගන්න. ඒවායේ වෙනස්කම් හොඳින් බලන්න.

ඊළඟ පොස්ට් එකෙන් කලාත්මක  ඡායාරුපයක් සකසා ගැනීමට බලපාන අනිකුත් ප්‍රධාන කරුණු වන ආලෝකය සහ කාච පිළිබඳව කතා කරමු.



Tuesday, March 5, 2013

ඡායාරුපයේ සැකැස්ම - composition


කලාත්මක ඡායාරුපයක් ගැනීමේදී ආධුනිකයෙක් විසින් පහත මුලික කරුණු කෙරේ අවධානය යොමුකිරිම ඉතා වැදගත් වෙනවා.

  • ඡායාරුපයේ සැකැස්ම - composition 
  • අනාවරණය - Exposure
  • ආලෝකය  - Light 
  • භාවිතා කරන කාචය - Lens 

ඡායාරුපයේ සැකැස්ම - composition 


ෆොටෝ එකක සැකැස්ම (composition) මගින් කල යුතු ප්‍රධාන කාර්යය වන්නේ එම ඡායාරුපය නරඹන ප්‍රේක්ෂකයා ගේ ඇස, අරමුණ කෙරෙහිම  රඳවා තබා ගැනීමයි. 

ෆොටෝ එකක් compose කරන ක්‍රම සහ සැකැස්මේ නීති  (Composition  Rules) බොහොමයක් තියෙනවා. අපි ඉන් කීපයක් උදාහරණ සහිතව  බලමු. 

Framing 
අප ගන්නා ඡායාරුපය, පරිසරයේ ඇති ගස් වැල් මෙන්ම මිනිසා විසින් නිර්මිත  ආරුක්කු, පාලම් වැනි දේවල් තුලින් ඡායාරුප ගත කිරීම මගින් එම ඡායරුපයට ස්වභාවික රාමුවක් එක කල හැක. එසේ කිරීම තුලින් ප්‍රේක්ෂකයා ගේ ඇස අරමුණ කෙරෙහි රඳවා තබාගත හැක.




Rule  of  Third 

මේ  Rule of Third ක්‍රමය  ඡායාරුප ශිල්පින් අතර ජනප්‍රියතම  සැකසුම් ක්‍රමය ලෙස දැක්වීම වරදක් නොවේ. මෙහිදී කරන්නේ අපගේ ඡායාරුපය සමාන කොටස් 9කට බෙදී යන ලෙස එහි දික් සහ හරස් අතට මනඃකල්පිත රේඛාවන් 2 බැගින් ඇඳ  අපගේ ප්‍රධාන අරමුණ (subject) එම රේඛාවන් කැපියන  තැන්වල හෝ රේඛාවන්  දිගේ පිහිටන ලෙස සකස් කිරීමයි. (බොහෝ ඩිජිටල් කැමරාවල LCD  තිරය මෙසේ සටහන් කර ඇත.)


Dramatic Perspective 

ඡායාරුපය ගැනීමේ  කෝණය වෙනස් කිරීමෙන්, ඡායරුපයට විශාල වෙනසක් එක්කල හැක. අපි හැම වෙලේම පුරුදු වෙලා තියෙන්නේ අපේ ඇස්  මට්ටමෙන් බලන්න, ෆොටෝ ගන්න. නමුත් මේ ඇස්  මට්ටමෙන් වෙනස් උනාම අපිට ලෝකය හරිම වෙනස් විදිහට දකින්න පුළුවන්.



Horizon Line

ක්ෂිතිජ රේඛාව කිසිම විටක ඡායරුපයේ මැදට ගන්න එපා. එය ඡායරුපයේ හරි මැදට වඩා පහලට හෝ ඉහලට ගන්න. එමෙන්ම ක්ෂිතිජ රේඛාව, ෆොටෝ එකේ තිරස් දාරයන්ට සමාන්තරව තබාගන්න.





මිට අමතරව ඡායාරුපයක් සකසන තවත් ක්‍රම composition  methods ගොඩාක් තියෙනවා. නමුත් දැනට මේ ඇති. 

Break the Rules

මෙන්න මේ නීතියට තමයි මම වැඩියෙන්ම කැමති. මොකද ඡායාරුප ශිල්පය කලාත්මක නිර්මාණයක් සඳහා යොදවන විට එම ශිල්පියාට නීතිවලින් කොටුවෙලා කලාත්මක නිර්මාණයක් කරන්නත් සමහර විට බැහැ  වගේම මේ සම්ප්‍රදායික නීති බිදීම  තුලින්ද වඩා ප්‍රබල ලෙස නිර්මාණයක් ඉදිරිපත් කරන්නත් පුළුවන් කියන තැන තමයි මං   ඉන්නේ. මේ පහත තියෙන ෆොටෝ දෙකම composition rules බිඳ දැමු  අවස්ථාවන්, නමුත් මම  ඒ ෆොටෝ දෙකට කැමතියි., එහෙනම් එච්චරයි. 





අනාවරණය - Exposure, ආලෝකය  - Light , භාවිතා කරන කාචය - Lens  යන කරුණු ගැන වෙනත් පොස්ට් එකකින් කතා කරමු.