Pages

Thursday, February 28, 2013

ශේෂ්ත්‍ර ගැඹුර - Depth of Field


 (DOF) එහෙම නැත්නම් ශේෂ්ත්‍ර ගැඹුර කියන්නේ මොකක්ද ?  කොහොමද මේ DOF එක පාලනය කරන්නේ ? කියන කරුණු ගැන ඉතාමත්ම සරලව සහ කෙටියෙන් කරුණු පහදා දෙන්න තමයි අද උත්සාහ  කරන්නේ.

මුලින්ම  අපි මේ  (DOF)  කියන්නේ මොකක්ද කියලා ටිකක් පැහැදිලි කරගමු, යම් ඡායාරුපයක, පැහැදිලි තාවයෙන් යුතු (sharp), කිට්ටුවෙන්ම සහ ඇතින්ම   ඇති වස්තුන් අතර දුර ශේෂ්ත්‍ර ගැඹුර එහෙම නැත්නම  (DOF) කියලා හදුන්වන්න පුළුවන්.  



පහත  ෆොටෝ එක වෙත අවධානය යොමු කරමු. එහි අපට ලඟින්ම  තියෙන මල් ගස් වල සිට  ඈතින් පෙනෙන ක්ෂිතිජය දක්වාම පැහැදිලිව දකින්නට පුළුවන්,ඒ අතර දුර තමයි  (DOF) කියන්නේ.  එහෙනම් එම ඡායාරුපය වැඩි DOF එකක් (Large DOF) සහිත ඡායාරුපයක් ලෙස දක්වන්න පුළුවන්.



දැන් අපි පහත ඇති  ෆොටෝ එක වෙත අවධානය යොමු කරමු.  එම ඡායරුපයේ අපිට පැහැදිලිව දකින්නට ලැබෙන්නේ සමනලයා සහ ඌ වසා සිටින මල් නටුව පමණයි. එම මල් ගසේම, ඊට මදක් එපිටින් ඇති අත්ත පවා පැහැදිලි තාවයෙන්  අඩු බව නිරීක්ෂණය කරන්න. එසේනම් මෙමෙ ඡායරුපයේ ඇත්තේ අඩු DOF එකක් . මෙමෙ අඩු DOF එකට අපි Shallow DOF එහෙම නැතිනම් Small  DOF කියලා කියනවා. 



මොකක්ද CIRCLE OF CONFUSION කියන්නේ?


මේ DOF එක ගැන සරලව කිවොත් , DOF  කියන්නේ ෆොටෝ එකේ පැහැදිලිව (sharp) පෙනෙන තියෙන කොටසේ පරතරය කියලා  දන්නවනේ. ඡායාරූපයේ මේ පැහැදිලි කොටසේ සිට අපැහැදිලි (un-sharp) කොටසට එකපාරටම වෙනස්වීමක්/ පැනීමක්  (jump) සිදුවන්නේ නැහැ., එය සිදුවන්නේ ක්‍රමයෙන්.  මේ විදිහට හිතන්න. අපි ෆොටෝ එකක් ගන්නකොට කැමරාව නාභිගත (Focus) කරන්නේ එක තලයකට. ඇත්තෙන්ම කියනවනම් ඒ තලය තමයි ඉතාම පැහැදිලිව තියෙන්නේ. එතැන් සිට දෙපැත්තට ක්‍රමයෙන් මේ පැහැදිලිතාවය අඩුවෙමින් යනවා. යම් දුරක් යනතෙක් අපේ ඇසට එම පැහැදිලි තාවයේ  අඩුවීම පෙනෙන්නේ නැහැ. මෙන්න මේ පැහැදිලිතාවය ලෙස අපේ අස රැවටෙන කොටස තමයි DOF  කියන්නේ, එමෙන්ම මේ අපැහැදිලිතාවය අපිට මුලින්ම පෙනෙන්න පටන් ගන්න අවස්ථාව තමයි Circle of Confusion කියන්නේ. 

ඉතින් ඇයි  මේකට මේ Circle of Confusion කියන්නේ කියලා හිතෙනවා ඇති නේද? මෙන්න මේලෙස මේ දෙය සරලව අර්ථ දක්වන්න පුළුවන්.

අපි හිතමු ලක්ෂ්‍යයක් (ලක්ෂ්‍යය  කියන්නේ අරයක් නැති තරම් සියුම් තිතකට) යම් තලයකට නාභිගත  (Focus) කළා කියලා. එහෙනම් ඒ තලයේදී එම ලක්ෂ්‍යය , ලක්ෂ්‍යයක් ලෙස නාහිගත වෙනවා. (අරයක් නොමැතිව)  දැන් මේ තලයේ සිට දෙපැත්තට ක්‍රමයෙන් මේ ලක්ෂ්‍යය විශාල වෙමින් යනවා, නමුත් අපේ ඇසට තවමත් මෙය පෙනෙන්නේ ලක්ෂ්‍යයක්  (අරයක් නැති) ලෙසයි. නමුත් දැන් එහි ඉතාම  කුඩා අරයක් තියෙනවා. මෙලෙස විශාල වෙමින් යන ලක්ෂ්‍යය  යම් අවස්ථාවක අපේ ඇසට ලක්ෂ්‍යය නොව වෘර්තයක් (එනම් අරයක් ඇති) ලෙස පෙනෙන්න පටන් ගන්නවා. අන්න එම අවස්ථාවේදී එය  Circle of Confusion කියා හදුන්වනවා. පහත රුප සටහන් දෙක බලන්න.






මේ රුපසටහන් හොඳින් අධ්‍යයනය කිරීමෙන් මේ ගැන පැහැදිලි වෙන්න ඇති කියල හිතෙනවා. මේ සිද්ධාන්තය මත තමයි මුළු ඡායාරුප  ශිල්පයම රැඳිලා තියෙන්නේ. මේ DOF  එක සහ Circle of Confusion කියන දේවල් ගණනය කිරීමට ඉතා සංකීර්ණ ගණිත සමීකරණ තියෙනවා. ඒ ගැන මෙහි සඳහන් කරන්නේ නැහැ.

විවිධ ප්‍රමාණ වල Circle of Confusion අගයන්  චායරුපය මුද්‍රණය කරන ප්‍රමාණය සහ නරඹන දුර අනුව වෙනස් වන බවද සිහි තබා ගන්න.

Depth of field පාලනය කිරීම.

විවිධ ප්‍රමාණ වල Circle of Confusion අගයන්  චායරුපය මුද්‍රණය කරන ප්‍රමාණය සහ නරඹන දුර අනුව වෙනස් වුවද, පහත කරුණු කැමරාවේ depth  of  field එක පාලනය කිරීමට මුලික වන අතර, අපට මේ මගින් depth  of  field එක පාලනය කිරීමට හැක.

  • කාච විවරය (Aperture)
  • කැමරාවේ සිට ඡායාරුප ගත කරණ වස්තුවට ඇති දුර 
  • කාචයේ නාභි දුර 

කාච විවරය (Aperture)
විශාල කාච විවරයක් (small  F-stop number) භාවිතා කිරීමෙන් ලැබෙන්නේ කුඩා DOF  එකක් (shallow DOF ) සහිත ඡායාරුපයක් වන අතර , කුඩා කාච විවරයක්  (big F-stop number) භාවිතා කිරීමෙන් ලැබෙන්නේ වැඩි  DOF  එකක් (large  DOF) සහිත ඡායාරුපයකි.




කැමරාවේ සිට වස්තුවට ඇති දුර 
කැමරාවේ සිට වස්තුවට ඇති දුර අඩුවන විට කුඩා DOF  එකක් (shallow DOF ) සහිත ඡායාරුපයක් ලැබේ. ඒ මෙන්ම කැමරාවේ සිට වස්තුවට ඇති දුර වැඩි වන විටදී ලැබෙන්නේ වැඩි  DOF  එකක් (large  DOF) සහිත ඡායාරුපයකි.


කාචයේ නාභි දුර (Focal  Length ) 
වැඩි නාභි දුරක් ඇති telephoto lens භාවිතා කිරීමෙන් DOF අඩු කරගත හැකිවන අතර අඩු නාභි දුරක් ඇති wide angle lens  භාවිතා කිරීමේදී වැඩි DOF එකක් ලැබේ.



ශේෂ්ත්‍ර ගැඹුර DOF පාලනය කල යුත්තේ  ඇයි ? 
මුලින්ම අපි බලමු අඩු  (shallow) DOF  එකක් අවශ්‍ය වන අවස්ථාවන්. විශේෂයෙන්ම අලේඛ්‍ය (portrait) ඡායාරුප ගැනීමේදී අඩු DOF  එකක් යොදාගන්නවා, එමෙන්ම අපේ ඡායාරූපයේ යම් කොටසක් ඉස්මතු කොට දැක්විය යුතු අවස්ථාවලදීද මෙලෙස අඩු DOF  එකක් භාවිතා  කල හැක. 

පහල  ඇති ෆොටෝ දෙක හොඳින් බලන්න 



මින් පළමු වන ෆොටෝ එක ෆෝන් කැමරා එකකින් ගත් නිසා DOF  එක අවශ්‍ය ලෙස පාලනය කල නොහැකි උන අතර දෙවෙනි ෆොටෝ එක බ්‍රිජ් කැමරාවකින් ගත්  එකක්. එහිදී අවශ්‍ය ආකාරයෙන් DOF එක අඩු කල හැකි වුන නිසා ම, එම ෆොටෝ එකේ මල සහ එහි සිටින කුඩා සමනලයා ඉතා පැහැදිලිව දැක ගත හැක.

නමුත් ස්වභාවික දර්ශන (scenery) ෆොටෝ ගැනීමේදී වැඩි  (large ) DOF  එකක් අවශ්‍ය වේ. පහත ඇති ෆොටෝ බලන්න.


ප.ලි.

මේ පොස්ට් එක ගොඩක් දිග වැඩි උනත්, කොටස් දෙකකට පල කිරීමෙන්  depth of  field  එක ගැන තේරුම් ගැනීමට අපහසු වෙතැයි  සිතුන.

කලින් දීල තිබුන ෆොටෝ ගන්න ඉගෙන ගන්න පොස්ට් එකේ Camera  Simulator  එකට නැවත වතාවක් ගිහින් මේ aperture, camera to  subject distance සහ focal length  යන සෙටින්ග්ස් වෙනස් කරමින් ෆොටෝ ටිකක් අරගෙන DOF ඒ අනුව වෙනස් වන ආකාරය බලන්න.  

No comments:

Post a Comment

ඔබට මාතෘකාවට අදාළ යම් ගැටළුවක් වෙතොන් එය මෙහි කොමෙන්ට් එකක් ලෙස පලකරන්න. හැකි ඉක්මනින් පිළිතුරු ලැබීමට කටයුතු කරනු ඇත.

මෙය හුදෙක් දැනුම බෙදාදීම සඳහාම වෙන්කළ අඩවියක් වැවින් කොමෙන්ට් කිරීම අදාළ ගැටළු වලට පමණක් සිමා කර ඇති බව කාරුණිකව දැනුම් දෙමි.