Pages

Thursday, February 28, 2013

ශේෂ්ත්‍ර ගැඹුර - Depth of Field


 (DOF) එහෙම නැත්නම් ශේෂ්ත්‍ර ගැඹුර කියන්නේ මොකක්ද ?  කොහොමද මේ DOF එක පාලනය කරන්නේ ? කියන කරුණු ගැන ඉතාමත්ම සරලව සහ කෙටියෙන් කරුණු පහදා දෙන්න තමයි අද උත්සාහ  කරන්නේ.

මුලින්ම  අපි මේ  (DOF)  කියන්නේ මොකක්ද කියලා ටිකක් පැහැදිලි කරගමු, යම් ඡායාරුපයක, පැහැදිලි තාවයෙන් යුතු (sharp), කිට්ටුවෙන්ම සහ ඇතින්ම   ඇති වස්තුන් අතර දුර ශේෂ්ත්‍ර ගැඹුර එහෙම නැත්නම  (DOF) කියලා හදුන්වන්න පුළුවන්.  



පහත  ෆොටෝ එක වෙත අවධානය යොමු කරමු. එහි අපට ලඟින්ම  තියෙන මල් ගස් වල සිට  ඈතින් පෙනෙන ක්ෂිතිජය දක්වාම පැහැදිලිව දකින්නට පුළුවන්,ඒ අතර දුර තමයි  (DOF) කියන්නේ.  එහෙනම් එම ඡායාරුපය වැඩි DOF එකක් (Large DOF) සහිත ඡායාරුපයක් ලෙස දක්වන්න පුළුවන්.



දැන් අපි පහත ඇති  ෆොටෝ එක වෙත අවධානය යොමු කරමු.  එම ඡායරුපයේ අපිට පැහැදිලිව දකින්නට ලැබෙන්නේ සමනලයා සහ ඌ වසා සිටින මල් නටුව පමණයි. එම මල් ගසේම, ඊට මදක් එපිටින් ඇති අත්ත පවා පැහැදිලි තාවයෙන්  අඩු බව නිරීක්ෂණය කරන්න. එසේනම් මෙමෙ ඡායරුපයේ ඇත්තේ අඩු DOF එකක් . මෙමෙ අඩු DOF එකට අපි Shallow DOF එහෙම නැතිනම් Small  DOF කියලා කියනවා. 



මොකක්ද CIRCLE OF CONFUSION කියන්නේ?


මේ DOF එක ගැන සරලව කිවොත් , DOF  කියන්නේ ෆොටෝ එකේ පැහැදිලිව (sharp) පෙනෙන තියෙන කොටසේ පරතරය කියලා  දන්නවනේ. ඡායාරූපයේ මේ පැහැදිලි කොටසේ සිට අපැහැදිලි (un-sharp) කොටසට එකපාරටම වෙනස්වීමක්/ පැනීමක්  (jump) සිදුවන්නේ නැහැ., එය සිදුවන්නේ ක්‍රමයෙන්.  මේ විදිහට හිතන්න. අපි ෆොටෝ එකක් ගන්නකොට කැමරාව නාභිගත (Focus) කරන්නේ එක තලයකට. ඇත්තෙන්ම කියනවනම් ඒ තලය තමයි ඉතාම පැහැදිලිව තියෙන්නේ. එතැන් සිට දෙපැත්තට ක්‍රමයෙන් මේ පැහැදිලිතාවය අඩුවෙමින් යනවා. යම් දුරක් යනතෙක් අපේ ඇසට එම පැහැදිලි තාවයේ  අඩුවීම පෙනෙන්නේ නැහැ. මෙන්න මේ පැහැදිලිතාවය ලෙස අපේ අස රැවටෙන කොටස තමයි DOF  කියන්නේ, එමෙන්ම මේ අපැහැදිලිතාවය අපිට මුලින්ම පෙනෙන්න පටන් ගන්න අවස්ථාව තමයි Circle of Confusion කියන්නේ. 

ඉතින් ඇයි  මේකට මේ Circle of Confusion කියන්නේ කියලා හිතෙනවා ඇති නේද? මෙන්න මේලෙස මේ දෙය සරලව අර්ථ දක්වන්න පුළුවන්.

අපි හිතමු ලක්ෂ්‍යයක් (ලක්ෂ්‍යය  කියන්නේ අරයක් නැති තරම් සියුම් තිතකට) යම් තලයකට නාභිගත  (Focus) කළා කියලා. එහෙනම් ඒ තලයේදී එම ලක්ෂ්‍යය , ලක්ෂ්‍යයක් ලෙස නාහිගත වෙනවා. (අරයක් නොමැතිව)  දැන් මේ තලයේ සිට දෙපැත්තට ක්‍රමයෙන් මේ ලක්ෂ්‍යය විශාල වෙමින් යනවා, නමුත් අපේ ඇසට තවමත් මෙය පෙනෙන්නේ ලක්ෂ්‍යයක්  (අරයක් නැති) ලෙසයි. නමුත් දැන් එහි ඉතාම  කුඩා අරයක් තියෙනවා. මෙලෙස විශාල වෙමින් යන ලක්ෂ්‍යය  යම් අවස්ථාවක අපේ ඇසට ලක්ෂ්‍යය නොව වෘර්තයක් (එනම් අරයක් ඇති) ලෙස පෙනෙන්න පටන් ගන්නවා. අන්න එම අවස්ථාවේදී එය  Circle of Confusion කියා හදුන්වනවා. පහත රුප සටහන් දෙක බලන්න.






මේ රුපසටහන් හොඳින් අධ්‍යයනය කිරීමෙන් මේ ගැන පැහැදිලි වෙන්න ඇති කියල හිතෙනවා. මේ සිද්ධාන්තය මත තමයි මුළු ඡායාරුප  ශිල්පයම රැඳිලා තියෙන්නේ. මේ DOF  එක සහ Circle of Confusion කියන දේවල් ගණනය කිරීමට ඉතා සංකීර්ණ ගණිත සමීකරණ තියෙනවා. ඒ ගැන මෙහි සඳහන් කරන්නේ නැහැ.

විවිධ ප්‍රමාණ වල Circle of Confusion අගයන්  චායරුපය මුද්‍රණය කරන ප්‍රමාණය සහ නරඹන දුර අනුව වෙනස් වන බවද සිහි තබා ගන්න.

Depth of field පාලනය කිරීම.

විවිධ ප්‍රමාණ වල Circle of Confusion අගයන්  චායරුපය මුද්‍රණය කරන ප්‍රමාණය සහ නරඹන දුර අනුව වෙනස් වුවද, පහත කරුණු කැමරාවේ depth  of  field එක පාලනය කිරීමට මුලික වන අතර, අපට මේ මගින් depth  of  field එක පාලනය කිරීමට හැක.

  • කාච විවරය (Aperture)
  • කැමරාවේ සිට ඡායාරුප ගත කරණ වස්තුවට ඇති දුර 
  • කාචයේ නාභි දුර 

කාච විවරය (Aperture)
විශාල කාච විවරයක් (small  F-stop number) භාවිතා කිරීමෙන් ලැබෙන්නේ කුඩා DOF  එකක් (shallow DOF ) සහිත ඡායාරුපයක් වන අතර , කුඩා කාච විවරයක්  (big F-stop number) භාවිතා කිරීමෙන් ලැබෙන්නේ වැඩි  DOF  එකක් (large  DOF) සහිත ඡායාරුපයකි.




කැමරාවේ සිට වස්තුවට ඇති දුර 
කැමරාවේ සිට වස්තුවට ඇති දුර අඩුවන විට කුඩා DOF  එකක් (shallow DOF ) සහිත ඡායාරුපයක් ලැබේ. ඒ මෙන්ම කැමරාවේ සිට වස්තුවට ඇති දුර වැඩි වන විටදී ලැබෙන්නේ වැඩි  DOF  එකක් (large  DOF) සහිත ඡායාරුපයකි.


කාචයේ නාභි දුර (Focal  Length ) 
වැඩි නාභි දුරක් ඇති telephoto lens භාවිතා කිරීමෙන් DOF අඩු කරගත හැකිවන අතර අඩු නාභි දුරක් ඇති wide angle lens  භාවිතා කිරීමේදී වැඩි DOF එකක් ලැබේ.



ශේෂ්ත්‍ර ගැඹුර DOF පාලනය කල යුත්තේ  ඇයි ? 
මුලින්ම අපි බලමු අඩු  (shallow) DOF  එකක් අවශ්‍ය වන අවස්ථාවන්. විශේෂයෙන්ම අලේඛ්‍ය (portrait) ඡායාරුප ගැනීමේදී අඩු DOF  එකක් යොදාගන්නවා, එමෙන්ම අපේ ඡායාරූපයේ යම් කොටසක් ඉස්මතු කොට දැක්විය යුතු අවස්ථාවලදීද මෙලෙස අඩු DOF  එකක් භාවිතා  කල හැක. 

පහල  ඇති ෆොටෝ දෙක හොඳින් බලන්න 



මින් පළමු වන ෆොටෝ එක ෆෝන් කැමරා එකකින් ගත් නිසා DOF  එක අවශ්‍ය ලෙස පාලනය කල නොහැකි උන අතර දෙවෙනි ෆොටෝ එක බ්‍රිජ් කැමරාවකින් ගත්  එකක්. එහිදී අවශ්‍ය ආකාරයෙන් DOF එක අඩු කල හැකි වුන නිසා ම, එම ෆොටෝ එකේ මල සහ එහි සිටින කුඩා සමනලයා ඉතා පැහැදිලිව දැක ගත හැක.

නමුත් ස්වභාවික දර්ශන (scenery) ෆොටෝ ගැනීමේදී වැඩි  (large ) DOF  එකක් අවශ්‍ය වේ. පහත ඇති ෆොටෝ බලන්න.


ප.ලි.

මේ පොස්ට් එක ගොඩක් දිග වැඩි උනත්, කොටස් දෙකකට පල කිරීමෙන්  depth of  field  එක ගැන තේරුම් ගැනීමට අපහසු වෙතැයි  සිතුන.

කලින් දීල තිබුන ෆොටෝ ගන්න ඉගෙන ගන්න පොස්ට් එකේ Camera  Simulator  එකට නැවත වතාවක් ගිහින් මේ aperture, camera to  subject distance සහ focal length  යන සෙටින්ග්ස් වෙනස් කරමින් ෆොටෝ ටිකක් අරගෙන DOF ඒ අනුව වෙනස් වන ආකාරය බලන්න.  

Tuesday, February 26, 2013

කැමරාව බේරගන්න -Dry Box එකක් හදාගන්න





මේ පොස්ට් එකෙන් මං කියලා දෙන්න යන්නේ අපේ කැමරා උපකරණ ටික කොහොමද නිවැරදිව ගබඩා කරලා තියාගන්නේ කියලා වගේම ඒ සඳහා අවශ්‍ය වන Dry Box එකක් කොහොමද ඉතම සුළු මුදලකට අපිම හදාගන්නේ කියන එක. බොහොම කාලයක් පෙරුම් පුරලා ලක්ෂ ගානක් වියදම් කරලා මිලදී ගත්ත කැමරාවට එහෙම නැත්නම් ලෙන්ස් වලට  හානියක් උනොත් ඉතින් බොහොම දුක හිතෙනවා නේද? 

මං  තුමා බොහෝ අවස්ථාවල දැකලා තියෙනවා බොහෝ දෙනෙක්  කැමරාව ඇඳුම් දමන අල්මාරියේ දාලා තියෙනවා, එහෙම නැත්නම් පොත් දාන කබඩ් එකක දාලා යතුරු දාලා තියෙනවා. මේක සම්පුර්ණයෙන්ම වැරදි වැඩක්. කවුරු හරි ඒ දේ කරනවානම් දැන්මම කැමරාව එතනින් එලියට ගන්න. 

අපේ වගේ රටවල් වල humidity (ආර්ද්‍රතාවය) එක ගොඩක් වැඩියි. මේ humidity 50% වඩා වැඩිවන විට කැමරා ලෙන්ස් වල, sensor  එකේ වගේම අනිකුත් විදුරු මතුපිටවල් සහිත කොටස් (viewfinders, mirrors) වල නොයෙකුත් පුස් වර්ග හැදෙනවා. මේවට කියන්නේ molds (fungus) කියලා. මේ පුස් වර්ග ඔය උපකරණ වල තියෙන glass coatings  විනාශ කරනවා.  කැමරා lens  එක හදලා තියෙන්නේ lenses කීපයක් එකතුකරලා, ඉතින් ඔය ඇතුලේ තියෙන ලෙන්ස් කෑල්ලකට ඔය පුස් අවොත් එහෙම සුද්ද කරන එක ලේසි නැහැ. බොහෝවිට අලුත් ලෙන්ස් එකක් ගන්න තමයි වෙන්නේ. ඔය fungus සුද්ද කරන අය  ඉන්නවා. නමුත් මගේ ගේ පුද්ගලික අදහසනම් ඔය fungus සුද්ද කරපු ලෙන්ස් එකක් මුල් තත්වගේ තරම් හොඳ නැහැ කියන එකයි.



දැන් තේරෙනවා ඇති නේද, කැමරා සහ උපාංග  ඇඳුම්, පොත් වගේ දේවල් එක්ක තියන්න එපා කියලා කියුවේ ඇයි  කියලා. ඔය අල්මාරි, කබඩ් ඇතුලේ humidity එක වැඩි වගේම එලිය වැටෙන්නේ නැති නිසා මේ පුස් වර්ග ඉක්මනින් හැදෙනවා.

Dry Box එකක් ඇතුලේ මේ උපකරණ ටික තබාගන්න එක තමයි විසදුම. මේ Dry  Box  කියන්නේ අපිට අවශ්‍ය මට්ටමින් humidity % පාලනය කල ඇතුලට සාමාන්‍ය ලෙස ආලෝකය වැටෙන විදිහට සකස් කල පෙටිටියක්.

මේ තියෙන්නේ ඒ වගේ එකක්.

නමුත් මේවා හරි ගණන්. ලංකාවේ නම් අඩුම මිල රුපියල් 9500/- විතර වෙනවා. ඉතින් මෙන්න මම විසින්ම  dry box  එක හදාගත් හැටි. මේ විදිහට වහාම එකක් හදාගෙන කැමරාව එකේ දමන්න. 

මෙන්න උපකරණ ලැයිස්තුව සහ  වියදම් උන මිල ගණන්.

1. Air tight Container Box - රු. 950.00
2. Silica gel 250g              - රු. 125.00
3. Humidity මීටරයක්           - රු.500.00

මුළු වියදම = 1575.00  නරක නැහැ නේද?


මෙන්න සදා ගන්න පිළිවෙල:


ඔය තියෙන්නේ මං  ගත්ත පෙටිටිය, සුපිරි වෙළඳ සලකින් ගන්න පුළුවන්.


පියනට ඔය වගේ රබර් බිඩින්  එකක් තියෙන්න ඕනේ එතකොට තමයි Air  Tight වෙන්නේ.

පෙට්ටියේ අඩියට ෆෙල්ට් රෙදි කෑල්ලක් දාන්න.


Silica gel ග්‍රැම් 100 විතර දාන්න. අනිත් ටික කට තදින් වැසූ බෝතලයක අරන් තියාගන්න.


දැන් ඊට උඩින් තවත් ෆෙල්ට් රෙදි කැල්ලක් දාන්න. 




ඔය  තියෙන්නේ Humidity මීටරය.


ඕවා නම් මෙහෙ ගන්න නැහැ. මගේ යාලුවෙක් ඉන්නවා මාසයකට සැරයක් දෙකක් බැංකොක් යන එතුමාට කියල ගෙන්නවා ගත්තා. දැන් ඔය මීටරය එලියට පෙනෙන  විදිහට පෙටිය ඇතුලේ තියා ගන්න.

දැන් කැමරා එකයි ලෙන්ස් ටිකයි  අසුරගන්න.

පියන හොඳින් වසා මීටරය පෙනෙන ලෙස මේසයක් උඩින් තබාගන්න.


සැලකිය යුතුයි:

ඔය මීටරය 30% - 45% අතර තබාගන්න. 45% වඩා ඉහල යනවනම් සිලිකා ජෙල් තව ටිකක් එකතු කරන්න. 30% වඩා අඩු වෙනවනම් සිලිකා ජෙල් ප්‍රමාණය අඩුකරන්න.


සිලිකාජෙල් නිල්  පැහැයෙන්  යුක්ත වන අතර ජල  වාෂ්ප උරා ගැනීමෙන් රෝස පැහැයට හැරේ. එවිට  සිලිකා ජෙල් රත්කර ගැනීමෙන් නැවත සක්‍රිය කරගත හැක.


මේ තියෙන්නේ නිල්  පාටට, ජල වාෂ්ප උරා නොගත් සිලිකා ජෙල්. රෝස පාටට තියෙන්නේ ජල වාෂ්ප උරා ගත් සිලිකා ජෙල්.


මොකක්ද හොඳ ?


කලින් පොස්ට් එකේ විස්තර කරලා තිබුනේ වෙළඳ පොලේ තියෙන ප්‍රධාන කැමරා වර්ග 4 ගැන නේ. නමුත් මේ පොස්ට් එකෙන් පස්ස Bridge කැමරා තියෙන අය DSLR  එකක්ම ගන්න නොහැකි වීම ගැන  ටිකක් කනස්සල්ලට පත් වෙලා කියලා තේරුනා. ඒ නිසා තමයි මේ පොස්ට් එක ලියන්න හිතුවේ.

මෙන්න මේ පහත තියෙන කොටස මනා අවධානයකින් යුක්තව කියවලා  බලන්න.


ඉතාම මිල  අධික පින්සල්, පාට, කැන්වස් ආදිය  අතට ගත්තත් චිත්‍රයක් ඇඳීමට දන්නේ නැති කෙනෙකුට කලාත්මක චිත්‍රයක් ඇඳීමට හැකියාවක් නැතුවා මෙන්ම, දක්ෂ චිත්‍ර ශිල්පියෙකුට ඉතාම බාල වර්ගයේ උපකරණ භාවිතයෙන් ඉතාමත්ම ඉහල නිර්මාණයක් කල නොහැකි උවද අනිකාට වඩා ගුණාත්ම නිර්මාණයක් ඉදිරිපත් කල හැක.

ඡායාරුප කරණයේ දීද මෙම කරුණ මෙලෙසින්ම බලපාන බව මගේ විශ්වාසයයි. 


ඕනෑම කාරණයක් සම්බන්දයෙන් මේ දෙය මේ ආකාරයෙන්ම බලපානවා, සංගීත භාණ්ඩයක්, වාහනයක්, කොම්පුටරයක්....  ඔය හැම දෙයක් සම්බන්දයෙන්ම එහෙමයි. අප අත  ඇති උපකරණය, අපගේ නිපුනතාවය සහ අප සිදුකරන කාර්යය කියන දේවල් වල සුසංයෝගය අවසාන පුතිපලය කෙරෙහි බලපානවා. 

ඒ නිසා අද මේ පොස්ට් එකෙන් මම පෙන්නන්න යන්නේ Bridje  කැමරාවකින් සැහෙන්න හොඳ  ඡායාරුපයක් හදාගන්න පුළුවන් කියන එක . නමුත් එකේ හැකියාවන් සිමාසහිතයි. විශේෂයෙන් ෆොටෝ විශාල කිරීමේදී  (සෙන්සර් එක කුඩා බැවින්)  සහ ලෙන්ස් මාරු කිරීමේ හැකියාව නැති කම. ඒ නිසා bridje තියෙන අය ඒ ගැන කලකිරෙන්නේ නැතිව හොඳ ඡායාරුප ගැනීම සඳහා මේ තම කැමරාව භාවිතා කරන්න.

මේ පොස්ට් එකේ දාන ෆොටෝ ගැනීමට භාවිතා කලේ  Fuji S2950, Fuji  HS20  යන bridje  කැමරා සහ Nikon D 5100 කැමරාව මේ තියෙන්නේ ඒ කැමරා,
FUJI  S2950
Fuji  HS20

Nikon  D 5100
අපි මෙම කැමරා වල මෙගා පික්සල් ගණන බැලුවොත් පළමු කැමරාව මෙගා පික්සල් 14ක්  වන අතර අනිතුත් කැමරා  දෙකම මෙගා පික්සල් 16 බැගින් වේ. sensor formats සැලකීමේදී bridge කැමරා දෙකේ 1/2" හෙවත් 6.4  4.8 mm  වන අතර DSLR  කැමරාවේ senor  format  එක APS-C  හෙවත් 23.6 X 15.6 mm වේ. 

දැන් අමුලින්ම අපි බලමු මේ S 2950 කැමරාවෙන් ගත්ත ෆොටෝ කීපයක්. ෆොටෝ වල අයිතිය නම් මගේ නෙවේ ඔන්න ෆොටෝවල අයිති කාරයාගේ නම ඒවගේ සටහන් කරලා තියෙනවා





වරදක් නැහැ නේද? ඔය ෆොටෝ 10" x 15" ප්‍රමාණයට enlarge කරලා ප්‍රින්ට් එකක්  ගන්න පුළුවන් කිසිම් ප්‍රශ්නයක් නැතිව. ඔය කැමරාව රු 25000/- වගේ මිලක් තමයි වෙන්නේ.

දැන් බලමු මම  කලින් පාවිච්චි කරපු Fuji  HS20 කැමරාවෙන් ගත්ත ෆොටෝ ටිකක්. මම ගත්ත  ඒවගේ  "සවී" සටහන් කරලා තියෙනවා.





මොකද හිතෙන්නේ?  Bridge  කැමරා එක ගත්තේ අපරාදේ කියලා හිතෙනවද?  එහෙම නැත්නම් Bridge  එකකිනුත් හොඳ ෆොටෝ එකක් ගන්න පුළුවන් කියලා හිතෙනවද?

බලන්න පලවෙනි ෆොටෝ එක ලුණු ගෙඩියේ වර්ණ සහ details ඉතාම හොඳින් තියෙනවා. දෙවෙනි එකේ බලන්න සුදු පාට මල් පෙති වල  සුදු පැහැයෙන්ම තියෙන details. අන්තිම එකේ බලන්න depth of field  එක අඩුකරලා තියෙන හැටි. (depth of field  එක ගැන පසුව කතා කරමු) මේ ෆොටෝ එහෙමත්  10" x 15" ප්‍රමාණයට enlarge කරලා ප්‍රින්ට් කරන්න පුළුවන් කිසිම දෝෂයක් නොපෙනෙන්න.

ඔය කැමරාව රැ. 58000/- උනා. දැන් මොකද හිතෙන්නේ මේ කැමරා දෙකෙන් ගත්ත ෆොටෝ සංසන්දනය කරලා බලනකොට 14 මෙගාපික්සල්  කැමරා එකෙන් ගත්ත ඒවාට වඩා 16 මෙගාපික්සල්  කැමරා එකෙන් ගත්ත ඒවා හොඳයි කියලා හිතෙනවද? නැහැ නේද? ඔන්න ඕක තමයි මෙගා පික්සල් කතන්දරේ. කැමරා දෙකෙන්ම ගත්ත ෆොටෝ එක හා සමාන quality  එකකින් යුක්තයි.

 නමුත් මේ HS20 කැමරා එකේ manual controls ගොඩක් තියෙනවා, ඒ වගේම ලෙන්ස් එකේ aperture එක ලොකුයි. මේ හේතු නිසා මිල වැඩි වීම සාධාරණයි. 

හොඳයි දැන් අපි බලමු DSLR එකෙන් ගත්ත ෆොටෝ දෙකක් 



දැන් මොකද හිතෙන්නේ? Bridge කැමරා දෙකන් ම  ගත්  ෆොටෝ  ඉතාම  හොඳයි. නමුත් මේ DSLR  එකෙන් ගත්  ෆොටෝ වල ඊට වඩා  ගුණාත්මක බවින්  ඉහල බව පෙනෙනවා නේද? ඔය ෆොටෝවල තියෙන වර්ණ, සහ details ඉතාම් ඉහල මට්ටමක පවතිනවා.

මම කලින් කියූ විදිහට bridge  එකෙන් ගත්  ෆොටෝවක් 10" x 15" වගේ ප්‍රමාණයකින් මුද්‍රණය කර ඡායාරුප ප්‍රදර්ශනයකට පවා තැබිය හැකි මට්ටමින් පවතී.  නමුත් එම ෆොටෝවක් එම ප්‍රමාණයට වඩා විශාල කිරීමේදී ගැටළු මතුවන ආකාරය සහ DSLR  එකකදී මතු නොවන ආකාරයත් පහත කොටසක් පමණක් විශාල කරන ලද ඡායාරුප නිරීක්ෂණය  කිරීමෙන් තේරුම් ගන්න.

 Bridge  

 



DSLR 





මෙම වෙනසට හේතුව වන්නේ DSLR වල ඇති සෙන්සර් එකේ ප්‍රමාණය සහ ලෙන්ස් වල ඇති ගුණාත්මක භාවයයි. මෙම කැමරාවේ sensor format එක APS-C බව දන්නවනේ, මේක full frame sensor එකක් තියෙන කැමරාවකින් ගත්තොත් මීටත් වඩා විශාල කල හැකියි. 

සාරාංශය 
මේ පොස්ට් එකෙන් මට පෙන්වීමට අවශ්‍ය උනේ, ඡායාරුප ප්‍රදර්ශනයකට ඉදිරිපත්  කිරීමට තරම් ප්‍රමාණවත් ගුණාත්මක බාවයකින් යුත් ඡායාරුප ගැනීමට bridge කැමරාවක් භාවිතා කිරීමට හැකි බව සහ එහි ඇති සීමාවන් පෙන්වීමටයි 

එමෙන්ම ඡායාරුපයක්  ගැනීමේදී වඩා වැදගත් වන්නේ උපකරණ නොව එය හසුරවන ශිල්පියාගේ දක්ෂතාවය බවයි.

1. කැමරාවේ තත්වය ගුණාත්මක ෆොටෝ එකක් ගන්න ඉතාම වැදගත් වෙනවා.
2. ඉතාම හොඳ කැමරාවකින් ගන්න ෆොටෝ එකක image quality එක වැඩිවෙන එක ඇත්ත, නමුත් ඡායරුපමය වටිනාකමක් එයට ලැබෙන්නේ ගිල්පියගේ දක්ෂ්පවය අනුවයි.
3.ඉතාම පහල මට්ටමේ කැමරාවකින් දක්ෂ ශිල්පියෙකුට උවත් ඉතාම හොඳ ෆොටෝවක් නිර්මාණය කරන්න අපහසුයි 
4. කැමරාවක් මිලදී ගැනීමේදී තමන්ගේ මුදලට, කාර්යයට ගැලපෙන කැමරාව මිලදී ගැනීම වඩා සුදුසුය.

** මේ ගැන හිතන්න. මේ අලුත්ම ඉහලම තාක්ෂණයෙන් යුත් කැමරා නිෂ්පාදනය කිරීමට පෙරත් ලෝකයේ ඉතාමත් ඉහල වටිනාකමකින් යුත් ඡායාරුප නිර්මාණය වූ බව.


කැමරාවක් ඕනෙද? මේ ගැනත් සිතන්න


කැමරාවක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවද? වෙළඳ පොලේ තියෙන කැමරා වර්ග මොනවද? වගේ කරුණු  ටිකක් පිළිබඳව පොඩි විස්තරයක් කරන්න හිතුවා. අපි දැන් ඉන්නේ ඩිජිටල් ලෝකයේ නිසා ෆිල්ම් කැමරා ගැන කතා කරන්නේ නැහැ.

කැමරා වර්ග 

අපි ඉස්සෙල්ලම බලමු වෙළඳ පොලේ තියෙන කැමරා වර්ග මොනවද කියලා. (Brand  names  නෙවේ) ප්‍රධාන වශයෙන් කැමරා වර්ග 4 ක්  දක්වන්න පුළුවන් 
  • Point  & Shoot එහෙම නැත්නම් Compact Camera 
  • Prosumer Camera  නොහොත් Bridge Camera 
  • DSLR Camera 
  • Mirror-less Camera 
ඔය තමයි ප්‍රධාන කැමරා වර්ග 4 වෙන්නේ. 

Point  & Shoot / Compact Camera 




ඔය තියෙන කැමරා දෙක දැක්කම හැමෝම දන්නවනේ. මේ කැමරා වර්ග වල තියෙන්නේ ඉතාම කුඩා image sensor  එකක් ඒ නිසා මේ වගේ කැමරා වලින් ගන්න ෆොටෝ enlarge කරලා මුද්‍රනය කරන්න අමාරුයි.
මේ වගේ කැමරා එකක් ගන්නවානම් ඉතින් හිතන්න වෙන්නේ මෙගා පික්සල් ගණන ගැන තමයි.

මේ කැමරාව අපිට ෆොටෝ එක ගන්න අවශ්‍ය පැත්තට කැමරාව අල්ලලා පිටිපස්සේ තියෙන LCD  පැනල්  එකෙන් බලල ශටර් එක ඔබන්න විතරයි තියෙන්නේ. ඒ නිසාම තමයි මේ වර්ගයට  point & shoot කියලා කියන්නේ. ඔය වර්ගයේ කැමරාවල අපිට සකස් කරන්න පුළුවන් සෙටින්ග්ස් ප්‍රමාණය ඉතාම සිමා සහිතයි. ඒ නිසා මේ මගින් කලාත්මක ඡායාරුපයක් නිර්මාණය කරගන්න නම හැකියාවක් නැති තරම්.

මෙහි මිල ඉතාම අඩුයි,  ඒ වගේම ප්‍රමාණයෙන් කුඩා සහ සැහැල්ලු බැවින් යුක්ත නිසා ඕනෑම අවස්ථාවක ඡායාරුපයක් ගැනීමේ පරමාර්ථයෙන්  සැම  වෙලේම සාක්කුවේ දමාගෙන යන්න පුළුවන්. නමුත් මගේ පුද්ගලික අදහස නම මේ වර්ගයේ කැමරාවක් මිලදී ගැනීම වැඩකට නැති දෙයක් බවයි.  එහෙම කියන්නේ අද අපි හැමෝම අතේ තියෙන ෆෝන් කැමරා එකෙනුත් ඔයිට සමාන ෆොටෝ ගන්න පුළුවන් නිසා. මේ පහලින් තියෙන්නේ මගේ ෆෝන් කැමරාවෙන් ගත්ත පින්තුර කීපයක්. හැම වෙලේම DSLR එක උස්සගෙන යන්න බැහැනේ?





Prosumer Camera  /Bridge Camera 



මේ bridge වර්ගයේ කැමරා නිෂ්පාදනය කරලා තියෙන්නේ  point & shoot සහ DSLR  කියන  වර්ග දෙකට අතරමැදි වර්ගයක් ලෙසයි. මේ නිසා තමයි මේ වර්ගයට bridge  කියන්නේ. ඒ වර්ග දෙක අතර පාලමක් වගේ. මෙම කැමරා DSLR  වලට වඩා ප්‍රමාණයෙන් කුඩා වෙනවා. මේවයේ  බොහෝ දුරට භාවිතා වන්නේ 1/2" හෝ 2/3" කියන කුඩා ප්‍රමාණයේ image sensor  එකක්. නමුත් DSLR  එකකින් කරන බොහෝ කාර්යයන් මේ කැමරාවකින් කරගන්න පුළුවන්. 

DSLR වලට වඩා Bridge හි ඇති අවාසි 
  • කුඩා සෙන්සර් එකක් තිබීම.
  • ලෙන්ස් මාරු කිරීමට නොහැකි වීම.
  • Optical  view finder  එකක් නොමැති වීම. (මෙහිදී අපිට දර්ශනය වන්නේ video එකකි)
  • බොහෝවිට ලෙන්ස් නිෂ්පාදනය කර ඇත්තේ ප්ලාස්ටික් වලින් වීම (DSLR  වල high  quality glass)
  • සමහර වර්ග වලට external flash  එකක් සවිකිරීමේ නොහැකි වීම.

මිල අතින් ගත්කල DSLR  එකකට වඩා අඩු වීමත්,  Manual  settings සාදාගැනීමේ හැකියාවත් වගේම  DSLR එකකින් කරගත හැකි වැඩ බොහොමක් කරගැනීමට හැකිවීමත් 10" x 15"  වැනි ප්‍රමාණයේ මුද්‍රණයක් ලබා ගත හැකිවීම වැනි හේතුන් මත,  අඩු මිලකට කැමරාවක් ගැනීමට බලාපොරොත්තු වන අයට  ද, ඒ  කැමරාවේ ඇති සිමාවන් තමන්ට ප්‍රමාණවත් යයි සිතන අයෙකුට මෙන්ම, ඡායාරුප ශිල්පයට  ආධුනිකයන් හටත් සුදුසු වර්ගයකි. (DSLR  එකක්ම මිලදී ගත හැකිනම් වඩා හොඳය.)

DSLR - Digital  Single  Lens Reflex 







DSLR වල මිල නම් අනිත් කැමරා වලට වඩා  අධිකයි.  DSLR  කැමරාව ගැන හැමෝම දන්නවනේ. මේකේ ලෙන්ස්  එකෙන් එන ආලෝකය කැමරා බොඩි එක ඇතුලේ තියෙන දර්පණයකින් (mirror) හරවලා ඊට පස්සේ ඉහල තියෙන pentaprism  එකෙන් නැවත හරවලා තමයි අපේ දර්ශනය ලබා දෙන්නේ. මේ නිසා view finder  එකෙන් බලන්න කැමරාව on  කරන්න ඕනේ නැහැ වගේම ඉතාම පැහැදිලි දසුනක් ලබාගන්න පුළුවන්. මේ පහල තියෙන රුපය බලන්න 

කලාත්මක ඡායාරුප කරණයේ මෙන්ම වෘත්තීය මට්ටමින් ඡායාරුප කරණය කිරීමට බලාපොරොත්තු වෙනවානම් ඔබ අනිවාර්යයෙන්ම මෙම වර්ගය මිලදී ගත යුතු වෙනවා. ලංකාවේ නම් බොහෝ සෙයින් ජනප්‍රිය වන්නේ Nikon  සහ Canon  කියන වර්ග දෙකයි. මෙම වර්ග දෙකම එක හා සමාන තත්වයෙන් යුක්ත වන අතර මෙම වර්ග තෝරා ගැනීම තමන්ගේ පුද්ගලික රුචිය අනුව සිදුවෙනවා. Nikon  භාවිතා කරන්නන් එම වර්ගයෙන් ගන්න ඡායාරුප වල  තත්වය හොඳයි කියන අතර Canon  භාවිතා කරන අය  කියන්නේ Canon  වලින් ගන්නා ෆොටෝ හොඳයි කියායි.


Mirror-less Camera 



මේ තියෙන්නේ අලුතෙන්ම හදුන්වා දී ඇති කැමරා වර්ගයයි. මෙම කැමරා වල DSLR  වල මෙන් mirror  එකක් නැහැ. මෙම කන්නාඩිය ඉවත් කිරීමෙන් නිෂ්පාදකයන් බලාපොරොත්තු වන්නේ කැමරාවේ විශාලත්වය සහ බර අඩුකිරීමයි. නමුත් එහි කන්නාඩියක් නැති නිසාම එයට optical view  finder එක අහිමි වී digital view  finder එකක් හිමි වී තියෙනවා. මෙය මෙහි ඇති ප්‍රධාන අවාසියක් වෙනවා. 

මෙම වර්ගයේ කැමරා වල ලෙන්ස් මාරු කිරීමේ හැකියාව ඇති නමුත්. ලබාගත හැකි ලෙන්ස් ගණන ඉතාම් සීමිතයි. ලෙන්ස් ප්‍රමාණ 2 -3 කට වඩා තවම නිෂ්පදානය කර නැහැ. 

මෙම කැමරා වල ඇත්තේ APS-C  වර්ගයේ සෙන්සර් එකක් නිසා තත්වයෙන් ඉහල ෆොටෝ ගන්න පුළුවන්. මෙම වර්ගය ඉතාම ලඟදි හදුන්වා  දුන් නිසාම  මිල ඉතාම අධිකයි.  නමුත් අනාගතයේදී මෙම වර්ගය Bridge  කැමරා අභිබවා ඉදිරියට යන බව විශ්වාස කරන අතරම, තවදුරටත් DSLR   කැමරා  ලෝකයේ රජු ලෙස තවත් බොහෝ කාලයක් වැජඹෙනු ඇත.

Bridge & DSLR Image Comparison 



පලවෙනි ෆොටෝ එක Fuji HS 20 Bridge  කැමරාවකින් ගත් එකක්  වන අතර අනික Nikon D5100 DSLR  කැමරාවකින් ගත්  ෆොටෝ එකක්. මේ ෆොටෝ දෙකම එකම ස්ථානයකදී එක හා සමාන ආලෝක තත්වයන් මත ගනු ලැබූ අතර DSLR එකෙන් ගනු ලැබූ ෆොටෝ එකේ image quality එක ඉතා ඉහල  බව පැහැදිලිව දැකගත හැක. 


කැමරාවක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු 

  • ඔබට කැමරාවක් මිලදී  ගත යුතුමද යන්න පළමුවෙන් විමසන්න.
    • බොහෝ දෙනෙක් නිකන් ගන්නන් වාලේ කැමරා මිලදී ගන්නවා. එකෙන් වෙන්නේ මුදල් නාස්තිවීමක්  පමණයි.
  • ඔබ මිලදී ගන්න කැමරාව පාවිච්චි කරන්නේ කොතරම් කලකට  සැරයක් ද? how  often use it?
    • සමහර අය  කැමරාව ආසාවට මිලදී ගෙන වසරකට වරක් හෝ දෙවරක් ගෙදර තියෙන මොකක් හරි උපන්දින සාදයක් වගේ දෙයක ෆොටෝ ටිකක් ගහනවා විතරයි. එහෙම නම් එකත් මුදල් අපතේ යැවීමක්. ඒ වෙනුවෙන් කැමරාවක් මිලදී නොගෙන ඡායාරුප ශිල්පියෙකුගේ සේවාව ලබා ගැනීම වඩා පලදායකය 
  • ඔබ ඒ වෙනුවෙන් වැයකරන මුදල පළමුව තීරණය කරන්න.
    • පළමුව වැයකරන මුදල තීරණය කරන්නේ නැතිව camera showroom  එකකට ගිය විට එතන ඉන්න salesmen  මොන මොනව හරි බොරු  ටිකක් කියලා, එක එක ජාති පෙන්නලා ඔබ බලාපොරොත්තු උනාට වඩා වැඩි මුදලක එකක් කොහොම හරි ඇඟේ  ගහනවා.
  • ඔබ කැමරාව භාවිතා කරන්නේ කුමන කරුණකට ද යන්න තීරණය කරන්න.
    • මෙන්න මේක තමයි deciding factor එක වෙන්න ඕනේ. දැන් ඔබ මේ කැමරා වර්ග ගැන දන්නා නිසා මොන වර්ගයෙන්ද ගන්න ඕනේ කියලා ඔබට තීරණය කරන්න පුලුවන්. ඔබට කලාත්මක එහෙම නැත්නම්  වෘත්තීය මට්ටමින් ඡායාරුප කරණය කිරීමට බලාපොරොත්තු වන්නේනම් අනිවාර්යයෙන් DSLR  එකක් මිලදී ගන්න.
  • කැමරා brand එක ගැනත් model  එක ගැනත් අන්තර්ජාලයේ තියෙන reviews  හැකිතරම් කියවන්න.
  • ඔබ මිලදී ගන්නේ DSLR  එකක් නම් සැම විටම ලෙන්ස් මිලදී ගැනීමේදී හොඳම වර්ගයෙන් (high quality optics) මිලදී ගන්න. කැමරා බොඩි එක යම් දිනක මාරු කලත් මේ ලෙන්ස් දිගටම පාවිච්චි කරන්න පුළුවන්.
  • අවසානයේදී ඔබ මිලදී ගන්නා කැමරාවෙන් සැහීමකට පත්වන්න. එයින් ප්‍රයෝජනයක් ගන්න.