Pages

Tuesday, June 25, 2013

කුරුළු කුඩුව








මගේ කාර්යාලය අසල තිබුන කුඩා ගසක කොන්ඩ කුරුල්ලන් දෙදෙනෙක් නිතර ගැවසෙනවා දෑකලා බළනකොට මේගොල්ල කුඩුවක් හදනවා. නමුත් මේ අවස්ථාවේදී මම කිසිම ෆොටෝ එකක් ගන්න ගියේ නැහැ , එහෙම කළා නම් උන් බයවෙලා එය  අත්හරින බව දැනගෙන හිටියා. මේ ගස පිහිටලා තිබුනේ කාර්යාලයේ එක කාමරයක ජනේලයක් අසලමයි. අපේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි නන්දසිරිට උපදෙස් දුන්නා මොනම හේතුවකටවත් ඒ ජනේලය අරින්න එපා කියලා. ජනේලයට තිරයක් දාලා තිබුන නිසා උන්ට ජනේලහෙන් මෙපිට පෙනෙන්නේ නැහැ වගේම මෙම කාමරය කිසි කෙනෙක් පාවිච්චි කලේ නැති නිසා උන්ට කිසි කරදරයක් උනේ නැහැ. ඔය ජනේලයට උඩින් පොඩි කවුළු කීපයක් තිබුනා, ඉතින් මම ජනේලය ළඟ මේසයක් තියල ඒ මේසය උඩ තව කුඩා මේසයක් තියලා එකේ උඩ try prod එක සහ මගේ කැමරා අම්පන්න ටික අටවා ගත්තා.

ඔය කවුළුවක් අස්සෙන් ෆොටෝ ගහන්න උන හින්දා මගේ කැමරා කෝණය ඉතාම සිමා සහිත උනා. ඒ වගේම ඔය පින්තුර ඉස්සරහින්ම පෙනෙන්න තියන කොලය මට ලොකු බාදාවක් උනත්, එය කඩා ඉවත් කිරීමට මට කිසිම ලෙසකින් ආචාර ධර්ම වලට අනුව ඉඩක් නැහැ. කෙසේ උනත් ඔය සීමාවන්ට යටත්ව බිත්තරයේ සිට පැටවුන් ඉගිල යන තෙක්ම දිනපතා ඡායාරුප ගැනීමේ හැකියාව ලැබුනා. බොහෝවිට ආලෝක තත්වයන් පැවතුනේ ඉතාම නරක ලෙස නමුත් Flash light එකක් බාවිතා කලේ නැහැ. මුලින්ම Flash එකක් බාවිතා කලේ ඔය පැටවුන් ඇස් ඇරපු මුල්ම දවසෙයි.  ඒ වෙනකොට මොනම හේතුවකටවත් ලොකු උන් පැටවුන් අතහැර නොයන බව මම දැනගෙන හිටියා.

කුරුල්ලන්ගේ ඡායාරුප ගන්නා ශිල්පියෙකුට, ඔවුන්ගේ  හැසිරීම් ගැන මනා අවබෝධයක් තිබීම ඉතාම වැදගත්, එසේ නොමැතිව බිත්තර රැකීම හෝ පැටවුන්ගේ ඡායාරුප ගැනීම නොකළ යුත්තක්. ඉතාම වැදගත් වන්නේ කෙසේ හෝ ඡායාරුපය ගැනීම නොව, ඔවුන්ගේ ජිවන රටාවට කිසිසේත් හානියක් නොකර ඔවුන්ට නොදැනී ඡායාරුපය ගැනීම බව ඉතාම හොඳින් මතකයේ තබාගත යුත්තක්.

ඔන්න එහෙනම් ෆොටෝ ටික බලන්න. දින දාලා තියෙනවා කාල පරාසය ගැන අවබෝධයක් ලබාගන්න.



කුරුල්ලයි කිරිල්ලයි අපරුවෙන් හදාගත්ත කැදැල්ල 

 මේ බිත්තර දින කීපයක් රැකලා තියෙන්නේ   - දිනය: ජුනි මාසේ 13 දා


 සා පිපාසා  නොතකා - දිනය: ජුනි මාසේ 13 දා

පළමු පැටියා බිහිවී    - දිනය: ජුනි මාසේ 15 දා

පැටවුන් දෙදෙනම් බිහිවී අවසන්     - දිනය: ජුනි මාසේ 15 දා

පළමු ආහාර වේල   - දිනය: ජුනි මාසේ 15 දා

පෙරදාට වඩා වැඩුණු පැටවුන් - දිනය: ජුනි මාසේ 16 දා

පිහාටු මතුවන ලකුණු  - දිනය: ජුනි මාසේ 16 දා

පිහාටු මතුවඇත, හිස මදක් ඍජුව තබහත හැක. - දිනය: ජුනි මාසේ 18 දා


වේගවත් වර්ධනයට අවැසි පෝෂණය . - දිනය: ජුනි මාසේ 18 දා



තවමත් ඇස් පෑදී නැත. වේගවත් ආහාර ගැනීම  - දිනය: ජුනි මාසේ 18 දා

පිහාටු මෙන්ම ශරීර ප්‍රමාණය බොහෝ වර්ධනය වී ඇත   - දිනය: ජුනි මාසේ 19 දා

මෙලොව එලිය දුටු දා   - දිනය: ජුනි මාසේ 19 දා

වර්ධනයට අවැසි පෝෂණයසහ විවේකය  - දිනය: ජුනි මාසේ 20 දා


බොහෝ  පිහාටු වර්ධනයවී,  විවේකයයෙන්  - දිනය: ජුනි මාසේ 21 දා

 බඩගිනි කාරයෝ   - දිනය: ජුනි මාසේ 21 දා

මේ තමයි අවසන් රුප රාමුව. ඉන්පසු දින තුනක් මාහට ඔෆිස් යන්න බැරි වුනා. තුන්වන දිනයේ ඔෆිස් ගියගමන් කලේ කුරුලුකුඩුව බලපු එක. මට මගේ ඇස්  අදහා ගන්න බැරි උනා, කුරුළු පැටවූ දෙන්නා කුඩුවෙන් එලියට ඇවිත් අත්තක වහලා ඉන්නවා. මම ඉක්මනට කැමරාව අරගෙන ආවා, කැමරාව එලියට  අරගන්න ටිකට මේ දෙන්නා අම්මත් එක්ක ඒ අසල තිබුන විශාල ගසකට පියඹා ගියා. අවසන් ෆොටෝ එක ගන්න බැරි උනත්, ඒ දෙන්නා පියඹා ගිය ආකාරය දැක්කම මට හරිම සතුටක් ඇති වුනා.

මේ පහල තියෙන වීඩියෝ එක බලන්න.




පසු සටහන:
මේ ෆොටෝ ටික ගත්තේ ඉතාම අමාරුවෙන්. ඒ ජනේලයට ඉහලින් තිබුන කවුළුවේ වීදුරුවක් සවිකරලා තිබුන නිසා ෆොටෝ එතරම් පැහැදිලි නැහැ. මේ ඡායාරුප සමුහයේම හොඳ තත්වයේ ෆොටෝ තියෙන්නේ දෙකයි නමුත් මේ ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම ඡායාරුප ගත කිරීමට ලැබීම විශාල සතුටක්.

ෆිල්ම් කැමරා එකේ වයිට් බැලන්ස්



වර්ණ උෂ්ණත්වය ගැන ලියපු කලින් පොස්ට් එකෙන් වර්ණ උෂ්ණත්වය ඡායරුපයකට සිදුකරන බලපෑම සහ ඩිජිටල් කැමරාවක් අදාල ආලෝකයට අනුව සුසර කරගැනීම ගැන කරුණු ඉදිරිපත් කළා. මේ පොස්ට් එකෙන් කතා කරන්නේ   "ෆිල්ම් කැමරා එකේ වයිට් බැලන්ස්  කරන්නේ කොහොමද " යන කරුණ.

දැන් බොහෝ විට  ෆිල්ම් භාවිතා නොකරන නමුත් දැනුම සඳහා මෙය වැදගත් වනවා මෙන්ම ෆිල්ම් රෝල් භාවිතා කරපු කාලේ අපි කාපු කට්ට ගැනත් මේ තුලින් යම් අවබෝධයක් ලබාගන්න පුළුවන්.

ෆිල්ම් කැමරාවේ වයිට් බැලන්ස් කරන්න පුලුවන්ද? - කැමරාවෙන් බැහැ 

ඒ කියන්නේ, ෆිල්ම් රෝල් වලට  වර්ණ උෂ්ණත්වයේ බලපෑමක් නැතිද ? - මේ විදිහෙම බලපෑමක් තියෙනවා 

ෆිල්ම් කැමරාවේ වයිට් බැලන්ස් කරන්න බැරි ඇයි ?, ෆිල්ම් කැමරාවේ වයිට් බැලන්ස් කරන්නත් බැරිනම්, වර්ණ උෂ්ණත්වයේ බලපෑමත් තියෙනවා නම් ඉතින් කොහොමද ෆොටෝ ගත්තේ?

දැන් මොකක්ද දෙන උත්තරේ

පළමුවෙන්ම අපි බලමු ෆිල්ම් කැමරාවේ වයිට් බැලන්ස් කරන්න බැරි ඇයි  කියලා. මේ ගැන තේරුම් ගන්න අපි නැවතත් ඩිජිටල් කැමරාව වෙත යමු. අපි දන්නවා ඩිජිටල් කැමරාවේ ඡායාව සටහන් කරගන්නේ එහි ඇති සෙන්සර් එක මගින් බව. මේ පොස්ට් දෙක කියවන්න බැරි උන අය  මෙතනින් කියවන්න. "කැමරාවේ මෙගා පික්සලේද? සෙන්සර් එක ද?" සහ "කැමරාවේ Sensor Format සහ Crop Factor"  ඉතා සරලව කිවොතින් ,මේ සෙන්සර් එක මතට වැටෙන ආලෝකය විද්‍යුත් ධාරාවක්  බවට පරිවර්තනය කර එය කැමරාවේ  ඇති ප්‍රොසෙසරය මගින් රුපයක්  බවට පරිවර්තනය කරනවා.  ඉතින් මේ ඩිජිටල් ක්‍රියාදාමය  තුලදී එයට නොයෙකුත් විධානයන් ලබා දී අපට අවශ්‍ය ලෙස රුපය සකසා ගත හැකියි.

නමුත්  ෆිල්ම් කැමරාවකට අපි දමන්නේ ෆිල්ම් රෝල් එකක්, ඒ ෆිල්ම් රෝල් එක නිශ්පාදනයේදීම එහි ISO  අගය, භාවිතා කලයුතු වර්ණ උෂ්ණත්වය තීරණය වෙලා ඉවරයි.  එහෙනම් අපි  කරන්න ඕන, අපිට අවශ්‍ය කරන ආලෝකයට අදාළ  වර්ණ උෂ්ණත්වය ඇති ෆිල්ම් රෝල් එකක් භාවිතා කිරීමයි. (ISO  අගයත් එහෙමම තමයි අවශ්‍ය වන්නේ අඩු ආලෝක තත්වයන් මත ෆොටෝ ගන්න නම් , වැඩි ISO  අගයක් සහිත රෝලක් ගන්න වෙනවා )



ඉහත රුපය බලන්න එම ෆිල්ම් රෝල් එකේ සටහන් කරලා තියෙනවා DAYLIGHT OR BLUE FLASH කියලා.

දැන් පහත රුපය බලන්න  එහි සටහන් කරලා තියෙනවා TUNGSTEN ලෙසට


එකල බොහෝ සුලබව  ලබාගත හැකිව තිබුනේ "DAYLIGHT" සහ "TUNGSTEN"යන වර්ණ උෂ්ණත්වයන් වෙනුවෙන් නිෂ්පාදිත  ෆිල්ම්රෝල්, නමුත් ඉතා කලාතුරකින් "FLUORESCENT " ලෙස ටියුබ් ලයිට් වෙනුවෙන් නිෂ්පාදිත ෆිල්ම් රෝල් තිබුනා.

දැන් ප්‍රශ්නේ හරි නේද? නැහැ,  තාම හරි නැහැ. අපි දන්නවා සුර්යාලොකයත් සවස් සහ උදේ කාලයේදී අඩු වර්ණ උෂ්ණත්වයක් ලබාදෙන බව. එහෙනම් ඉතින් Daylight  type  එකක් අරගෙන සවස් කාලයේදී එහෙම නැත්නම් උදේ කාලයේදී ෆොටෝවක් ගන්නේ කොහොමද? එහෙම ෆොටෝ එකක් ගත්තොත් මොකද වෙන්නේ?

පසුගිය පාඩම නැවත මතක් කරලා බලන්න එතකොට උත්තරේ ලැබෙයි, උදේ සහ සවස වර්ණ උෂ්ණත්වය අඩුවෙන නිසා මේ Daylight  type එකකින් ඒ වගේ වෙලාවක ෆොටෝ එකක් ගත්තොත් කහ පැහැයක් ගන්නවා. බැරි වෙලාවත් ෆ්ලෑෂ් කරන්නේ නැතිව ගේ ඇතුලේ තියෙන ලයිට් එළියෙන් ෆොටෝ එකක් ගන්න උනොත්? ෆිල්ම් රෝල මාරුකරලා Tungsten  type එකක් දමන්නත්  බැහැනේ. ඔන්න ඔතන දී තමයි මේ වර්ණ උෂ්ණත්වය සකස් කරන්න වෙන්නේ. නමුත් මේක කැමරාවෙන් කරන්න බැහැ කියලා දැන් අපි දන්නවනේ, එහෙනම් කොහොමද මේක කරන්නේ? මෙතැනදී අපිට කරන්න වෙන එකම දේ තමයි කැමරාවට ඇතුල්වන ආලෝකයේ වර්ණය වෙනස්කිරීම.

පළමුව මේ උදාහරණය බලමු.

 Daylight  type ෆිල්ම් එකකින් සවස් කාලයේදී ෆොටෝ එකක් ගැනීම, දැන් අපි දන්නවා අපි ගන්න ෆොටෝ එකේ අවසන්  පුතිපලය කහ පැහැය වැඩිවෙන බව.එතකොට අපි කරන්නේ කැමරා ලෙන්ස් එකට ඉදිරියෙන්  නිල්  පැහැ  ෆිල්ටර් එකක් එකතු කිරීම. එවිට කැමරාවට ඇතුල්වන ආලෝකයෙහි වැඩි නිල්  පැහැයක් ඇති බැවින් කහ පැහැය නැති වෙනවා.

මේ පහල තියන colour wheel එක බලන්න


දැන් තේරෙනවානේ වැඩේ, අපිට අඩුකරන්න ඕන වන වර්ණයට විරුද්ධ වර්ණය ඇති ෆිල්ටර් එකක් යෙදීමෙන් තමයි ඒ දවස් වල ඔය වැඩේ ගොඩ දාගත්තේ. නමුත් වැඩේ හිතන තරම් ලේසි නැහැ. අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ කොපමණ ප්‍රමාණයක density එකක් තියෙන ෆිල්ටර් එකක්ද යොදාගන්න ඕන කියන එක. එහෙම නුනොත් වැඩේ සුං. අඩු density එකක් තියෙන ෆිල්ටර් එකක් දැම්මොත්  colour  cast  එක සම්පුර්ණයෙන් නැති වෙන්නේ නැතිව, අඩුවීමක් වෙනවා, වැඩි density එකක් තියෙන ෆිල්ටර් එකක් දැම්මොත්, ඒ දාන ෆිල්ටර් එකේ පාට colour  cast  එකක් එනවා.

ඉතින් ඉතාම ගැලපෙන නිවැරදි ෆිල්ටරය යොදන්න ඕන. ඒ දවස්වල කැමරාවට අමතරව මේ ෆිල්ටර් වෙනුවෙන්ද විශාල මුදලක් දැරීමට සිදුවුනා. මේ තියෙන්නේ ෆිල්ටර් කීපයක්.
Colour Filters 
මේ තියෙන්නේ Negatives 

ෆිල්ටරයක් තුලින් ආලෝකය ගමන් කිරීමේදී එම ආලෝකයේ යම් ප්‍රමාණයක අඩු වීමක් සිදුවෙනවා. මේ අඩුවන ප්‍රමාණය filter  factor  ලෙස නිෂ්පාදකයා විසින් ෆිල්ටරයේ සටහන් කර තියෙනවා. ඒ අනුව අනවරණයද සකස් කල යුතු වෙනවා.

ෆිල්ටර් භාවිතා කලේ මේ ලෙස වර්ණ උෂ්ණත්වයේ වෙනස නිසා ඇතිවන බලපෑම නිවැරදි කරගැනීමටම පමණක් නෙවේ. වෙනත් නොයෙකුත් කාර්යයන් සඳහා විශේෂයෙන් කලාත්මක ඡායාරුප සඳහා ෆිල්ටර් භාවිතා කිරීම සිදු උනා.

පසු සටහන:
ඔබේ  ලෙන්ස් එකේ ප්‍රමාණයට ගැලපෙන කලර් ෆිල්ටර් කීපයක් (විශේෂයෙන් නිල්  සහ කහ) සොයාගත හැකිනම්,  ඔබේ ඩිජිටල් කැමරාවේ වයිට් බැලන්ස් භාවිතා නොකර ෆිල්ටර් භාවිතයෙන්  වර්ණ උෂ්ණත්වය නිවැරදි කිරීමට උත්සාහ කර මේ පිළිබඳව ප්‍රායෝගික අත්දැකීමක් ලබාගන්න.