Pages

Monday, April 8, 2013

වර්ණ උෂ්ණත්වය - White Balance


අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ ආලෝකයේ වර්ණ උෂ්ණත්වය ගැන සහ කැමරාවේ වයිට් බැලන්ස් කිරීම ගැන. මේ කරුණු ගැන අපි ඉතාමත්ම සරලව සලකා බලමු.

මොකක්ද මේ වර්ණ උෂ්ණත්වය?

අපිට  ලැබෙන ආලෝකය විවිධ වර්ණ වලින් යුක්ත බව ඔබ දන්නවා, අපේ  ප්‍රධාන ආලෝක  ප්‍රභවය වන සුර්යයා ගෙන් ලැබෙන ආලෝකයේ වර්ණය දවසේ ඒ ඒ වේලාවන් අනුව වෙනස් වන බව අපි දන්නවා. හිරු පායා එනවිට මෙන්ම, හිරු  බැසයන විටත් හිරු රැස්  රත් පැහැයක් ගන්නා බව අපි දැකලා තියෙනවා. නමුත් දවල් කාලයේ හිරු රැස්  ඉතා දීප්තිමත් සුදු පැහැයක් ගන්නවා.

දැන් ඉටිපන්දම් ආලෝකයක් මතකයට නගා ගන්න. එහි දැල්ල කහ පැහැයක් ගන්නවා. නමුත් සුත්‍රිකාව සහිත විදුලි බුබුලකින් ලැබෙන ආලෝකය කහ පැහැ උවත්, එය ඉටිපන්දම් දල්ලට වඩා දීප්තිමත් මෙන්ම එහි කහ පැහැය , සුදු පැහැයට වඩා සමීප බවක් දක්වනවා.  මේ බල්බයේ ආලෝකය ටියුබ් බල්බයක් සමග සංසන්දනය කළහොත් ටියුබ් බල්බයේ ආලෝකය වඩාත් සුදු පැහැයට ආසන්න බවක් පෙනෙනවා.

 බොහෝ දෙනෙක් දැකලා ඇති නේද පැට්‍රොල් මැක්ස්  කියන ලාම්බු වර්ගය, එහම නැත්නම් බන්සන් දාහකය.



මේ වර්ග වල  ලාම්පු පත්තුකරන ආකාරය දැකලා තියෙනවා නේද?  මේවා මුලින් පත්තු කල ගමන් කහ ආලෝකයක් ගන්නවා , නමුත් එහි උෂ්ණත්වය වැඩි කරන විට එම ආලෝකය නිල්  පැහැයක් ගන්නවා. ගෑස් ලිප උනත් එහෙම තමයි.

හොඳයි දැන් මේ කාරනා වලින් අපට තේරෙනවා විවිධ ආලෝක ප්‍රභවයන් ගෙන් ලැබෙන ආලෝකයේ වර්ණය වෙනස් බවත්,  එකම ආලෝක ප්‍රභවයක  උවත් ඒ ඒ අවස්ථා අනුව ලැබෙන ආලෝකයේ වර්ණය වෙනස් වන බවත් ( සුර්යාලෝකය) . එමෙන්ම ඒ ඒ ආලෝකයට අනුව එහි උෂ්ණත්වය වෙනස් වන බවත්.

මෙන්න මේ ආලෝකයේ ඇති උෂ්ණත්වය තමයි වර්ණ උෂ්ණත්වය කියන්නේ. මෙය මනින ඒකකය වන්නේ කෙල්වින් කියන ඒකකයයි. පහල තියෙන රුපය බලන්න 


මේ අනුව දැන් ඉතාම පැහැදිලි වෙනවා වැඩි වර්ණ උෂ්ණත්වයක් ඇති විටදී නිකුත් වන ආලෝකය නිල්  පැහැ  වෙන අතර අඩු වර්ණ උෂ්ණත්වයක් ඇති විටදී නිකුත් වන ආලෝකය රතු පැහැ වෙන බව.

වර්ණ උෂ්ණත්වය ඡායරුපයට සිදුකරන බලපෑම.

ලෝකයේ තියෙන  ඉතාම හොඳම කැමරාව වන අපේ ඇසට මෙම ආලෝකයේ ඇතිවන වර්ණ වෙනස එතරම් ප්‍රශ්නයක් නොවුවද, කැමරාවට මෙය දැඩි ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා විවිධ වර්ණ උෂ්ණත්වයන් මත ඡායාරුප ගැනීමේදී  එම ආලෝකයට අදාළ වර්ණය මුළු ඡායාරුපය පුරා පැතිරී ඇති ආකාරයක් දකින්නට ලැබෙනවා. 
වැඩි වර්ණ උෂ්ණත්වයක් ලැබුන විට  නිල් පැහැ ගනී 

අඩු වර්ණ උෂ්ණත්වයක් ලැබුන විට  රත් පැහැ ගනී 
මේ දෝෂය මගහැරීම සඳහා,  කැමරාවට අප භාවිතා කරන ආලෝකයේ වර්ණ උෂ්ණත්වය ලබාදිය යුතු වෙනවා. එවිට ඒ අනුව කැමරාව, එම අගය සහිත වර්ණය සුදු වර්ණය ලෙස හඳුනා ගන්නවා.  එවිට අනිකුත් වර්ණ නිසි ලෙස සටහන් වෙනවා.

උදාහරණයක් ලෙස මෙහෙම හිතන්න. අපි සුදු පැහැති  කමිසයක් ඇඳගත් කෙනෙකුගේ ඡායාරුපයක්, 1000 සිට 2000 දක්වා කෙල්වින් අගය ඇති ඉටිපන්දම් ආලෝකයකින් ගත්තා කියලා. එතකොට සිදුවන්නේ එම වර්ණ උෂ්ණත්වයට අදාළ වර්ණය වන රතු පැහැය මුළු ඡායාරුපය පුරාවටම දකින්නට ලැබීමයි. ඔහු ඇඳ සිටින සුදු කමිසය රතු පැහැයෙන් දැක්වෙනු ඇත.  නමුත් මේ අවස්ථාවේදී කැමරාව එම රතු ආලෝකය, සුදු පැහැ  ආලෝකයක් ලෙස දකිනවානම්, ඔහුගේ කමිසය රතු පැහැ  නොවී සුදු පැහැයෙන්  සටහන් වනු ඇත. එමෙන්ම මුළු ඡායාරුපය පුරාවටම දකින්නට ලැබෙන රත් පැහැ  ස්වභාවය නැතිවී යනු ඇත.

මෙන්න මේ දේ තමයි අපි White Balance  කරනවා කියලා කරන්නේ. බොහෝ කැමරා වල මේ වයිට් බැලන්සින්  කිරීම සඳහා කෙල්වින් අගයන් දෙන්නේ නැහැ. ඒ වෙනුවට නිෂ්පාදකයන්,  අපිට බොහෝවිට දකින්නට ලැබෙන ආලෝක ප්‍රභවයන් වෙනුවෙන් සංකේත ලබා දී ඒ වෙනුවෙන් කැමරාවේ අගයන්  සකසා තිබීමයි. (preset). ඉහත වර්ණ උෂ්ණත්වයන් සඳහන් කල සටහනේ එම සංකේත දක්වා ඇති ආකාරය බලන්න. 

නමුත් සමහර කැමරා වල මේ පෙර සැකසුම් අගයන්ට අමතරව තමන්ටද වයිට් බැලන්සින්  කිරීම සඳහා  option  එකක් ලබාදෙනවා. එවිට තමන් භාවිතා කරන ආලෝකය දෙසට සුදු පැහැ   කඩදාසියක් අල්වා එය සුදු ලෙස සටහන් වන ලෙස කැමරාව සුසර කරගත යුතු වෙනවා. නමුත් මේ සඳහා වඩාත් සුදුසු වන්නේ expodisk  නම් පහත උපකරණය කැමරාවට සවිකර කැමරාව වයිට් බැලන්ස් කිරීමයි.



මොකක්ද මේ Auto White Balance 

මෙම Auto  මෝඩ්  එක භාවිතයෙන් බොහෝ කැමරා වල වයිට් බැලන්ස් කිරීම කැමරාව මගින් ස්වයන්ක්‍රියව සිදු කෙරෙනවා. බොහෝ අවස්ථාවල මෙම auto මොඩ් එකෙන් සාර්ථක පුතිපල  ලබාගත හැක. ඉතාමත් විශේෂ අවස්ථාවකදී හැර අන් සියලුම අවස්ථාවන්හිදී මං  තුමා යොදාගන්නේ auto  මෝඩ්  එක.

පොඩි ක්‍රියාකාරකමක් 

පහත දැක්වෙන රුප පෙළ හොඳින් බලන්න. එහි අංක සහ එම අවස්ථාවේදී යොදාගත් වයිට් බැලන්ස් පෙරසැකසුම් සන්කෙතයත් දක්වා ඇත. මේ සියල්ලම රු ගත කලේ වලාකුළු සහිත, සවස එලි  මහනේදී.





මෙහි අංක 3 auto  මොඩ්  එකෙන් ගත්  රුපය ඉතා නිවැරදි ලෙස ගත හැක.  අංක 2 රූපයත් බොහෝ දුරට නිවැරදි වේ. නමුත් මේ වෙනසට හේතුව වන්නේ පෙර සැකසුම් අගය "Cloudy" වීමයි.  එම වස්තාවේදී කැමරාව බොහෝ විට සිතන්නේ දහවල් කාලයේ වලාකුළු සහිත අවස්ථාවක් ලෙසයි.

දැන් අපි අංක 6 රුප රාමුව බලමු 

මේ අවස්ථාවේදී වයිට් බැලන්ස් මොඩ්  එක භාවිතා කලේ බල්බ් ලෙසයි. එහෙමනම් මේ රුපය මෙතරම් නිල් පැහැ  උනේ කොහොමද? බල්බ් කියන්නේ කෙල්වින් 2500 - 3000 අතර අගයක් බව ඉහත සටහනේ පෙනෙනවා නේද? ඒ කියන්නේ මෙම අවස්ථාවේදී කැමරාව බලාපොරොත්තු වන්නේ කෙල්වින් 2500 - 3000  අතර අගයක්. නමුත් මේ ඡායාරුප ගනු ලැබුවේ වලාකුළු සහිත, සවස එලි  මහනේදී. එවිට එම අවස්ථාවේ වර්ණ උෂ්ණත්වය  සවස බැවින්, කෙල්වින් 6500 - 8000 ට වඩා මදක් අඩු බව සිතිය  හැක. (කෙල්වින් 5500-6000  විය හැක) . එනම් කැමරාව බලාපොරොත්තු වනවාට වඩා ඉතා වැඩි වර්ණ උෂ්ණත්වයක්  එම නිසා එම ෆොටෝ එක නිල්  පැහැ ගැනී  ඇත.

අංක 4 සහ 5 රුප රාමු එලෙසම සාපේක්ෂව නිල්  පැහැය වැඩි වී ඇති ආකාරය ඉහත උදාහරණය ඇසුරෙන් කල්පනා කරන්න.


අංක 1 රුපය රතු  වර්ණයට වඩා නැඹුරු වුයේ කෙසේද?

මෙමෙ ඡායාරුප ගනු ලැබූ අවස්ථාවේ වර්ණ උෂ්ණත්වය කෙල්වින් 5500 -6000 පමණ වන්නට ඇති බව උපකල්පනය කලානේ. මේ අංක 1 රුපය  ගනු ලැබුවේ Shade කියන මෝඩ්  එක භාවිතා කරමින්. ඉහත හටහන අනුව Shade අවස්ථාවේ වර්ණ උෂ්ණත්වය කෙල්වින් 6500-8000 පමණ වෙනවා. එනම් කැමරාව බලාබොරොත්තු වන්නේ එවැනි වූ අගයකින් යුත් ආලෝකයක්, නමුත් මෙය ඡායාරුප ගත කල අවස්ථාවේදී වර්ණ උෂ්ණත්වය ඊට වඩා මදක් අඩු බැවින් රුපය මද රත් පැහැයක් ගෙන තියෙනවා.


මේ පොස්ට් එක කියවීමෙන් වර්ණ උෂ්ණත්වයේ වෙනස ඡායරුපයට බලපාන්නේ කෙසේද යන කරුණු පැහැදිලි වන්නට ඇති. නමුත් ඡායාරුප ශිල්පය යනු ප්‍රායෝගික විෂයක් බැවින් ඔබගේ කැමරාවේ වර්ණ උෂ්ණත්වයන් වෙනස් කරමින් එය බලපාන ආකාරය ගැන මනා දැනුමක් ලබාගන්න.

No comments:

Post a Comment

ඔබට මාතෘකාවට අදාළ යම් ගැටළුවක් වෙතොන් එය මෙහි කොමෙන්ට් එකක් ලෙස පලකරන්න. හැකි ඉක්මනින් පිළිතුරු ලැබීමට කටයුතු කරනු ඇත.

මෙය හුදෙක් දැනුම බෙදාදීම සඳහාම වෙන්කළ අඩවියක් වැවින් කොමෙන්ට් කිරීම අදාළ ගැටළු වලට පමණක් සිමා කර ඇති බව කාරුණිකව දැනුම් දෙමි.