Pages

Thursday, March 7, 2013

අනාවරණය - Exposure


අපේ ගියවර පොස්ට් එකෙන් කතා කලේ ඡායාරුපයේ සැකැස්ම - composition  ගැන.  අද පොස්ට් එකෙන් කතා කරන්න යන්නේ  අනාවරණය එහෙම නැත්නම් Exposure එක ගැන. මොකක්ද මේ අනාවරණය කියන්නේ? අපි හැමෝම දන්නවා ඡායාරුපයක් හැදෙන්නේ කාචය තුලින් ගමන් කරන ආලෝකය, කැමරාව තුල ඇති සෙන්සර් එක මතට (ෆිල්ම් කැමරාවක නම් ෆිල්ම් එක මතට )  පතිත වීමෙන් කියලා. මෙලෙස සෙන්සර් එකට හෝ ෆිල්ම් එක  මතට ආලෝකය ලබාදීම තමයි අනාවරණය කියන්නේ. 

නිවැරදි ඡායාරුපයක්  ලබා ගැනීමට මේලෙස සෙන්සර් එක මතට පතිත වන ආලෝක ප්‍රමාණය පාලනය කලයුතු වෙනවා.  එනම් අනාවරණය  පාලනය (exposure control)  කලයුතු වෙනවා. එලෙස අනාවරණය පාලනය නොකළහොත්  සෙන්සරය මතට වැඩි ආලෝකයක් ලැබුන විටදී  (over expose) ලැබෙන ඡායාරුපය සුදු පැහැ  වැඩි වෙන අතර, අඩු ආලෝකයක් ලැබීමෙන් (under expose) ඡායාරුපය     අඳුරු වේ. පහත ඡායාරුප බලන්න. 

නිවැරදි අනාවරණය 

අධික අනාවරණය 

මන්ද අනාවරණය 

ඉහත රුප අධ්‍යයනය කිරීමෙන් නිවැරදි අනාවරණයක්  ලබා දීම ඉතා වැදගත් බව පෙනේ. අනාවරණය පාලනය කිරීම සඳහා යොදාගන්නේ;
  • කාච  විවරය : Aperture 
  • ද්වාර වේගය :Shutter Speed 
  • සංවේදීතාවය:  ISO  (Sensitivity) ඩිජිටල් කැමරා වල පමණි. 

කාච  විවරය : Aperture (අනාවරණය සහ ශේෂ්ත්‍ර ගැඹුර D.O.F පාලනය කරයි)

කාච  විවරය : Aperture ලෙස හඳුන්වන්නේ කැමරා කාචය තුල ඇති ඩයප්‍රමයක්  මගිත් පාලනය කරන කාචයේ ඇති විවරයේ ප්‍රමාණයයි. 

එක ජනේලයක් ඇති කාමරයකට ලැබෙන ආලෝකය එම ජනේලයේ විශාලත්වය අනුව අඩු වැඩි වෙන ලෙසම මෙම කාච විවරයේ විශාලත්වය මත සෙන්සරයට හෝ ෆිල්ම් එක මතට ලැබෙන ආලෝකයේ ප්‍රමාණය අඩු වැඩි කල හැක. 

මෙම කාච විවරයේ ප්‍රමාණය f -stop  number  ලෙස හැදින්වේ. එම අගයන් දක්වන්නේ මෙවැනි වූ ආකාරයකටයි. f/22, f/16, f/11, f/8, f/5.6, f/4, f/3.5..... f හි අගය විශාල වන විට විවරයේ ප්‍රමාණය කුවා වන අතර f අගය කුඩා වන විට  විවරයේ ප්‍රමාණය විශාල වේ. උදා: f /22 කුඩා කාච  විවරයක් වන අතර f /2. 8 විශාල කාච විවරයක් වේ.

  • විශාල කාච විවරය (small f-stop number) :සෙන්සරයට වැඩි  ආලෝකයක්  + අඩු  (shallow) D.O.F 
  • කුඩා කාච විවරය (large f-stop number) :සෙන්සරයට අඩු ආලෝකයක්  + වැඩි   (large ) D.O.F 


Depth of Field හෙවත් ශේෂ්ත්‍ර ගැඹුර ගැන මෙතනින් කියවන්න.: Depth of field in Photography



ද්වාර වේගය : Shutter Speed (අනාවරණය සහ චලනය පාලනය කරයි)


කාච විවරය මෙන්ම ද්වාර වේගය හෙවත් shutter speed මගින් සිදුකරනු ලබන කාර්යය වන්නේද සෙන්සරය සෝ ෆිල්ම් එක මතට ලැබෙන ආලෝකයේ ප්‍රමාණය පාලනය කිරීමයි. මෙහිදී සිදුවන්නේ සෙන්සරය වසා සිටින shutter curtain එක විවෘත  වී නැවත වැසියාමයි. මෙලෙස ශටරය  විවෘත වී තිබෙන කාලය අනුව සෙන්සරය මතට ලැබෙන ආලෝකයේ ප්‍රමාණය අඩු, වැඩි වේ.

මෙලෙස ශටරය විවෘත වී තැබෙන කාලය තත්පරයෙන්  කොටස් ලෙස  දක්වනු ලැබේ. එය shutter speed ලෙස හැඳින් වේ. එම ශටර් වේගයන්  දක්වනු ලබන්නේ 1/4000, 1/2000, 1/1000, 1/500, 1/250, 1/125, 1/60, 1/30, 1/15, 1/8, 1/4, 1/2, 1 ......B  ලෙසයි. 

මෙහි 1/4000 යනු  තත්පරයකින් 4000න්  එකක කාලයක් ෂටරය විවෘත වී තිබීමය. ,  1/30 යනු තත්පරයකින් 30න්  එකක කාලයක් ෂටරය විවෘත වී තිබීමය,  1/2 යනු තත්පර බාගයක කාලයක් ෂටරය විවෘත වී තිබීම වන අතර  1 යනු සම්පුර්ණ තත්පරයක කාලයකි.  B (බල්බ්) ලෙස දැක්වෙන අවස්ථාවේදී , ෂටරය ක්‍රියාත්මක කරන button  එක ඔබාගෙන සිටින  මුළු කාලය තුලදීම ෂටරය විවෘත වී තිබේ.

Focal Plane Shutter

DSLR කැමරාවක Focal Plane ෂටරය  වැඩකරන ආකාරය 


ද්වාර වේගය වැඩි කරන විට සෙන්සරය හෝ  ෆිල්ම් එක මතට ලැබෙන ආලෝකයේ ප්‍රමාණය අඩු වේ. අඩු ආලෝක තත්වයන් හිදී වැඩි ද්වාර වේගයන්  යොදාගැනීමට නොහැකි වන අතර එවිට අඩු ද්වාර වේගයක්  භාවිතා කිරීමට සිදුවේ. නමුත් 1/60 වඩා අඩු  වේගයන් භාවිතයේදී, අතේ ඇතිවන සුළු චලනයකින් මුළු ඡායරුපයේ ම  චලනයක් සටහන් වේ. මෙය camera shake ලෙස හඳුන්වන අතර එය ඡායාරුප කරණයේදී  විශාල දෝෂයකි.
camera shake දෝෂය  සහිත  ඡායාරුපයක් 
මෙම දෝෂය මගහරවා ගැනීමට tripod එකක් භාවිතා කල හැක. නමුත් එවැනි අවස්ථාවන්හිදී, නිසල වස්තුන් චලනය රහිතව ඡායරුපයෙහි සටහන් වන අතර, චලනයක් සහිත වස්තුන්ගේ චලනය ඡායරුපයෙහි සටහන් වේ. මෙම චලනය සටහන් වීම  motion  blur ලෙස හැදින්වේ.

කිසිම චලනයක් සටහන් නොවූ, ඉතා පැහැදිලි ඡායාරුප සෑම  විටම ඉතාම හොඳ යැයි  කිව නොහැක. සමහර අවස්ථාවන්හිදී ඡායාරුපයක චලයන පෙන්වීම තුලින් එහි අදහස වඩා ඉස්මතු කර පෙන්විය හැක. අඩු  ද්වාර වේගයක් භාවිතා කිරීමෙන් චලනය සටහන් කරගත්  පහත ඡායාරුපය බලන්න.


මෙහිදී චලනය සටහන් වී ඇත්තේ ගමන් කරන තැනැත්තියගේ පමණි. එම රුපයේ ඇති අනිකුත් වස්තුන් නිසලව තිබේ. එබැවින් මෙය නරඹන කෙනෙකුට, මෙම තැනැත්තිය  ගමන් කරන බව තේරුම් ගත හැක.

යම් ලෙසකින් මෙම තැනැත්තියගේ චලනය සටහන් නොවුනානම්, ඇය ගමන් කරන්නේද, නැතහොත් නිසලව සිටගෙන සිටින්නේදැයි කීමට නොහැක.

දැන් පහත රුපය බලමු.


මෙහිදී , බයිසිකලයේ චලනය සටහන් නොවුවද ,පසුබිමේ චලනය සටහන් කිරීම් තුලින් , බයිසිකලයේ වේගය සහ එය ගමන්කරන බව පෙන්වා ඇත.
  • වැඩි  ද්වාර වේගය (high shutter speed) :සෙන්සරයට අඩු  ආලෝකයක්  + චලනය නැත / අඩු 
  • වැඩි  ද්වාර වේගය (slow shutter speed) :සෙන්සරයට වැඩි  ආලෝකයක්  + චලනය ඇත  

කාච විවරය සහ  ද්වාර වේගය පාලනය කිරීම තුලින් අනාවරණය (Exposure) පාලනය කරන ආකාරය පැහැදිලි ඇතැයි  සිතන අතර ඩිජිටල් ඡායාරුප කරණයේදී, මිට අමතරව සෙන්සරයේ සංවේදීතාවය වෙනස් කිරීම මගින්ද අනාවරණය සකසා සත හැක.

සංවේදීතාවය : ISO (අනාවරණය සහ Noise)

ISO යනුවෙන් හඳුන්වන්නේ සෙන්සරයේ සංවේදීතාවය මනින ඒකකයයි. ISO අගය අඩු වන විට සෙන්සරයේ සංවේදීතාවය අඩු වන අතර, ISO  අගය වැඩි වන විට සෙන්සරයේ සංවේදීතාවය වැඩි වේ. සාමාන්‍යයෙන් වැඩි ISO  අගයන් භාවිතා කරන්නේ අඩු ආලෝක තත්වයන් යටතේ, වැඩි ද්වාර වේගයක්  භාවිතා කිරීමටය. නමුත් ISO  අගය වැඩි වන විට ඡායරුපයේ Noise ප්‍රමාණය වැඩි වේ. Noise ලෙස හදුන්වන්නේ ඡායරුපහේ දක්නට ලැබෙන තිත් වැනි වූ ස්වභාවයයි.

පහත ඡායාරුප බලන්න.

ISO 800


ISO  3200

ISO  3200 යොදා ගත්  ඡායරුපයේ  Noise ප්‍රමාණය වැඩිවී ඇති ආකාරය බලන්න. මෙසේ Noise වැඩි වීම ඡායරුපයේ දෝෂයක් වන අතර, හැකි සැම  විටම අඩු ISO  අගයන් යොදා ගනිමින් Noise අඩුකිරීමට උත්සාහ කරන්න. නමුත් ඉතා අඩු ආලෝක තත්වයක් මත  ඡායාරුපය ගැනීමට අවශ්‍යනම්, Noise අමතක කර ෆොටෝ එක ගන්න. 
  • අඩු ISO  අගය  (low ISO ) :සෙන්සරය  ආලෝකයට අඩුවෙන්  සංවේදී වීම   + අඩු Noise ප්‍රමාණය
  • වැඩි ISO  අගය  (high ISO ) :සෙන්සරය  ආලෝකයට වැඩියෙන්  සංවේදී වීම  +වැඩි  Noise ප්‍රමාණය

දැන් නැවතත් ෆොටෝ ගන්න ඉගෙන ගන්න  පොස්ට් එකේ ඇති කැමරා සිමුලටරේට ගිහින් මේ අගයන් වෙනස් කරමින් ෆොටෝ ගන්න. ඒවායේ වෙනස්කම් හොඳින් බලන්න.

ඊළඟ පොස්ට් එකෙන් කලාත්මක  ඡායාරුපයක් සකසා ගැනීමට බලපාන අනිකුත් ප්‍රධාන කරුණු වන ආලෝකය සහ කාච පිළිබඳව කතා කරමු.



No comments:

Post a Comment

ඔබට මාතෘකාවට අදාළ යම් ගැටළුවක් වෙතොන් එය මෙහි කොමෙන්ට් එකක් ලෙස පලකරන්න. හැකි ඉක්මනින් පිළිතුරු ලැබීමට කටයුතු කරනු ඇත.

මෙය හුදෙක් දැනුම බෙදාදීම සඳහාම වෙන්කළ අඩවියක් වැවින් කොමෙන්ට් කිරීම අදාළ ගැටළු වලට පමණක් සිමා කර ඇති බව කාරුණිකව දැනුම් දෙමි.