Pages

Saturday, July 13, 2013

Silhouette Photography


අද අපි කතා කරන්න යන්නේ  Silhouette Photography ගැන. මෙය ආලෝකයට විරුද්ධව ඡායාරුප ගැනීම යන අර්ථයෙන් Against the light  photography  කියාත් හඳුන්වනවා.  සිලුවට් ඡායරුපයකදී, අපි ඡායාරුප ගත කරණ  වස්තුව තනි පැහැයකින්, බොහෝ විට කළු පැහැයෙන්  යුක්ත වන අතර පසුබිම සුදු හෝ දීප්තිමත් වර්ණයක් ගනී.

සිලුවට් ඡායාරුපයක් ගැනීම සඳහා ආලෝකයට විරුද්ධව ඡායාරුපය ගතයුතු වෙනවා. තවත් විදිහකින් කියනවා නම්, අපි සාමාන්‍යයෙන් ඡායාරුප ගැනීමේදී, ආලෝක ප්‍රභවය, ඡායාරුප ශිල්පියාගේ පිටුපසින් සිටින ලෙස ස්ථාන ගත කලත් මෙහිදී කරන්නේ ආලෝක ප්‍රභවය ඡායාරුප ශිල්පියාගේ  ඉදිරියෙන් සිටින ලෙස ස්ථාන ගත කිරීමයි.

ස්වාභාවික ආලෝක තත්ත්ව යටතේදී මෙන්ම ස්ටුඩියෝ එකක්  තුල  කෘතීම ආලෝක යටතේදීද සිලුවට් නිර්මාණය කල හැක. සිලුවට් ඡායාරුපයක් නිර්මාණය කිරීම සඳහා එහි අඳුරු  සහ ආලෝකමත් කොටස් අතර ආලෝකයේ වෙනස (contrast) ඉතා වැඩි විය යුතුයි. මෙලෙස ආලෝක වෙනස වැඩිවීම නිසාම අඳුරු කොටස් වල විස්තර (details) සටහන් නොවීම සිදුවෙනවා. 

සිලුවට් ඡායාරුපයක් නිර්මාණයේ අනිකුත් වැදගත් සාධකය වන්නේ අනාවරණයයි. මෙහිදී අපි අනාවරණය ලබාදිය යුත්තේ පසුබිමට නිවැරදි අනාවරණයක් ලැබෙන ලෙසයි,  එවිට වස්තුව මන්ද අනාවරණයට ලක්වීම නිසා තනි කළු පැහැයක් ගන්නවා 

සිලුවට් ඡායාරුපයන්  හි ඇති වස්තුන්ගේ details නොපෙනීම  නිසාම එම ඡායාරුප වලට නොයෙකුත් අර්ථකතනයන් දිය හැකිවෙනවා. පහත ඇති ඡායාරුපය බලන්න.


මෙම ඡායරුපයට දිය හැකි අර්ථකථනයන් මොනවාද?

ඇය දුකෙන් සිටිනවා ?
ඇය   තනිකමින් සිටිනවා?
ඇය නිදසහේ සිටිනවා?

මෙවැනි නොයෙකුත් අර්ථකතනයන් දියහැකි වෙනවා. එම නිසාම මේ සිලුවට් ඡායාරුප බොහෝ සෙයින් භාවාත්මක ස්වභාවයක් ගන්නා බව මගේ හැඟීමයි..

පහත ඇති සිලුවට් කිහිපය බලන්න.





Friday, July 12, 2013

2013 වෙසක් බලන්න.

ISO 100, f 7.1, 1/15"

ISO 800, f 4, 1/60"

ISO 3200, f 5.3, 1/10"

ISO 3200, f 5.6, 1/13"

ISO 3200, f 5.3, 1/25"

ISO 3200, f 3.5, 1/25"

ISO 100, f 13, 5"

ISO 100, f 20, 5"

ISO 800, f 5.6, 1/5"

ISO 800, f 5.6, 1/3"

Wednesday, July 10, 2013

රාත්‍රී ඡායාරුප.

අද කතා කරන්න බලාපොරොත්තු වන රාත්‍රී  ඡායාරුප කරණය   " Long -exposure photography " ලෙස හඳුන්වන්න පුළුවන් . මෙහිදී  සිදුකරනුයේ දිගු අනාවරණ කාලයක් ලබාදීමයි.(slow shutter speed) මෙම ක්‍රමයෙන්, නිසල වස්තුන් ඡායරුපහේ පහැදිලිව සටහන් වන අතර චලිතයන් සහිත වස්තුන්හි චලනය ඡායරුපයේ වේ. චලනය වන ආලෝක ධාරාවන්හි ගමන් මාර්ගය පැහැදිලිව ඡායාරූපයේ සටහන් වීම තුලින්  ඡ්යාරුපයට අධික ආකර්ෂණයක් ලැබේ.

දිගු අනාවරණයක් ලබාදීම සඳහා කැමරාව tripod එකක් මත ස්ථානගත කලයුතු වෙනවා. එමෙන්ම ෂටරය ක්‍රියාත්මක කිරීම සඳහා remote shutter release එකක් යොදාගැනීම මගින් ෂටරය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි සුළු චලනයන් මගහරවා ගත හැක.  remote shutter release එකක් නොමැතිනම් මේ සඳහා self timer එක යොදා ෂටරය ක්‍රියාත්මක කරන්න.







Tuesday, July 9, 2013

ආලෝකයෙන් ඇඳීම - Light Painting Photography


අපි කලින් ඉගෙනගෙන තියෙනවා Photography කියන වචනය හැදුන  ආකාරය,  අමතකද? හොඳයි එහෙනම් අපහු කියන්නම්  ෆොටෝස්  සහ ග්‍රෆෝස්  කියන ග්‍රීක වචන දෙකින් තමයි  Photography කියන වචනය  හැදිලා තියෙන්නේ. 

ෆොටෝස් = ආලෝකය
ග්‍රෆෝස් = ලිවිම, ඇඳීම

Photography කියන වචනයේ තේරුම තමයි ආලෝකයෙන් ඇඳීම එහෙම නැත්නම් ආලෝකයෙන් ලිවීම කියන එක. අද පොස්ට් එකෙන් මම කියලා දෙන්න යන්නේ අපි සාමාන්‍යයෙන් ෆොටෝ ගන්න ක්‍රමයට වෙනස් වූ  Light Painting Photography (ආලෝකයෙන් ඇඳීම)  කියන ක්‍රමය. 

ඇත්තෙන්ම මේ Light Painting Photography වලදී අපි කරන්නේ, අපිට ලැබෙන ආලෝක ප්‍රභවය උපයෝගි කරගෙන abstract art  එකක් විදිහට වර්ණ සහ හැඩතල යොදාගෙන අපේ ෆොටෝ එක නිර්මාණය කරගැනීමයි. මේ Light Painting Photography කියන ක්‍රමය Abstract Photography යටතට ගන්නත් පුළුවන්.

Light Painting Photography වලදී අපි කරන්නේ දීර්ග අනාවරණ කාලයක් (longer exposure time ) ලබාදෙමින් (බොහෝ විට තත්පර කිහිපයක්) කැමරාව අපිට අවශ්‍ය කරන රටාව ග්‍රහණය කරගත හැකි අයුරින් චලනය කිරීමයි. කැමරාව නිශ්චලව තබා ආලෝක ප්‍රභවය චලනය කිරීමෙන්ද මේ ආකාර ඡායාරුප නිර්මාණය කල හැක. 

 මේ ක්‍රමය සාර්ථකව සිදුකල හැක්කේ රාත්‍රී කාලවලදී හෝ කළුවර කාමරයක් තුලදීය. මෙහිදී ශිල්පියා තම අත  ඇති කැමරාව පේන්ට් බ්‍රෂ් එකක් ලෙසද, ආලෝකය වර්ණ ලෙසද යොදාගනිමින්, තමන්ගේ දක්ෂතාවය සහ නිර්මාණශිලිත්වය මත සාර්ථක නිර්මාණයක් සිදුකරනු ලබයි.

පහල තිබෙන  Light Painting Photos  කීපය චමිඳු විකුම්ශ්‍රී  ගේ නිර්මාණ එකතුවෙන්.









Saturday, July 6, 2013

කුරුල්ලන්ගේ ඡායාරුප ගනිමු.


මිට කලින් පොස්ට් කීපයකම කුරුල්ලන්ගේ ඡායාරුප පලකලානේ. අද මේ පොස්ට් එකෙන්, මගේ ප්‍රියතම අංශය වන  කුරුල්ලන්ගේ ඡායාරුප ගැනීම ගැන කෙටි හැඳින්වීමක් කරන්න හිතුවා.

වනජීවීන්  අතර බොහෝ සුලබව දකින්නට ලැබෙන සත්ව කොටස තමයි කුරුල්ලන් කියන්නේ. ගෙවත්තේද බොහෝ කුරුළු විශේෂ දකින්නට පුළුවන්. මේ අය  හඳුන්වන්නේ ගෘහාශ්‍රිත පක්ෂීන් එහෙම නැත්නම් Garden Birds ලෙසටයි.  කුරුල්ලන්ගේ ඡායාරුප ගැනීමට කැමති ආධුනිකයන්  මුලින් මේ ගෘහාශ්‍රිත පක්ෂීන්ගේ ඡායාරුප ගැනීම  වඩා සුදුසු වන්නේ, ඔවුන් අනිකුත් පක්ෂීන්ට වඩා මිනිසුන්ට දක්වන බිය සහ කුලෑටි ගතිය අඩු නිසයි.  කෙසේ වෙතත් වනජීවී ඡායාරුප කරණයේදී කුරුල්ලන්ගේ ඡායාරුප ගැනීම ඉතාම දුෂ්කර බව කිවයුතු වෙනවා.


කුරුල්ලන්ගේ ඡායාරුප ගැනීමේදී  ඔබ;

1. පරිසරය තුල සැඟවී සිටීමට දක්ෂ විය යුතුයි: මේ සඳහා කොළ පැහැති යුත් ඇඳුම් භාවිතය සුදුසු වෙනවා, දීප්තිමත් වර්ණ සහිත ඇඳුම් කිසිසේත් අදින්න එපා. සමහර විට  Sniper කෙනෙක් වගේ වෙස්වලා ගන්නත් සිදුවෙනවා. හැකිනම් ඔබේ කැමරාවට  කොළ පැහැ  ආවරණයක් යොදන්න.

2.ඔවුන්ගේ චර්යා රටාවන් ඉතා හොඳින් අධ්‍යයනය කල යුතු වෙනවා.  බොහෝවිට ඔවුන් එන්නේ එකම ගසකට, සමහර විට එකම අත්තකට. මේ රටාවන් හඳුනාගැනීමෙන් ඔබේ කාර්යය වඩා පහසු වෙනවා පමණක් නොව ඔවුන්ගේ දුර්ලභ අවස්ථාවන් ග්‍රහණය කරගත හැකි වෙනවා.

3.ඉතා දැඩි ඉවසීමක් තිබිය යුතුයි. පක්ෂීන් ඉතාමත් සංවේදී කොටසක්. අපේ සුළු සෙලවීමක් උනත් මේ අය ඉතා හොඳින් හඳුනාගන්නවා. එමෙන්ම ඉතා සුළු ශබ්දයකින්  උනත් පක්ෂීන් ඉතා දැඩි ලෙස තැතිගැනිමකට ලක්වෙනවා.කිසිම විටක ඔවුන් බිය වෙන ආකාරයේ චලනයක් හෝ ශබ්දයක් කරන්න එපා. සමහර විට ඔබට එක ඡායාරුපයක් ගැනීම වෙනුවෙන් කැමරාව මානාගෙන පැයක් හෝ ඊට මදක්  අඩු වැඩි කාලයක් ගතකිරීමට වුවද සිදුවනු ඇත. ඔබගේ නිසොල්මන් තාවය මත ඔවුන්ගේ බිය පහව  යනු ඇත.

4. ඔවුන් ගේ බිය දැක්වෙන සීමාව ( circle of fear ) හඳුනාගන්න. සමහර කුරුළු විශේෂ වෙත මීටර 2ක් පමණ ලඟා විය හැකි වුවත් සමහර විශේෂයන් වෙත මීටර 20 කට වඩා ලඟා වීම අපහසු වේ.

5. කුඩු සැදීමේ යෙදී සිටින සහ බිත්තර රකින අවස්ථාවන්ගේ ඡායාරුප ගැනීම කලයුත්තේ ඔබ ඒ ගැන මනා අවබෝධයක් ඇත්නම් පමණි. ඡායරුපයට වඩා පරිසරයට එකතුවීමට සිටින කුරුළු පැටවුන් ඉතා වටිනා බව සිහි තබාගන්න.

6. ඔබගේ ඡායාරුපය වෙනුවෙන් ගහක කොලයක් හෝ කැඩීමෙන් වැලකි සිටිමට තරම් කාරුණික වන්න. පරිසරයට ආදරය කරන කෙනෙකු වන්න.



අවශ්‍ය උපකරණ;

1. DSLR හෝ High-end Bridge කැමරාවක් 
2. ටෙලි ෆොටෝ ලෙන්ස් - මි.මි. 300 හෝ ඊට වඩා වැඩි නාභි දුරක් සහිත. මෙයට වඩා අඩු නාභි දුරක් ඇති විට අවශ්‍ය තරම් ඔබගේ වස්තුව (subject) වෙත ලඟා විය නොහැකි වීමෙන් හොඳ ප්‍රතිපල ලබාගත නොහැක. නමුත් ගෘහාශ්‍රිත පක්ෂීන් ඡායාරුප ගත කිරීමට නම් මි.මි.150 වැනි කාචයක් උවද සෑහේ.
3. හොඳ Tripod (තෙපාවක්) එකක්.


මේ පහත තියෙන්නේ මගේ කැමරාවට හසුකරගත්, මම ඉතා ආසාකරන ඡායාරුප කීපයක්.





තවත් කුරුළු කුඩු දෙකක් ෆොටෝ ගන්න අවස්ථාව ලැබුනා, කහ කුරුල්ලා ගේ සහ කවුඩා ගේ. ඒ ෆොටෝ පසුව පෙන්නන්නම්.


Tuesday, June 25, 2013

කුරුළු කුඩුව








මගේ කාර්යාලය අසල තිබුන කුඩා ගසක කොන්ඩ කුරුල්ලන් දෙදෙනෙක් නිතර ගැවසෙනවා දෑකලා බළනකොට මේගොල්ල කුඩුවක් හදනවා. නමුත් මේ අවස්ථාවේදී මම කිසිම ෆොටෝ එකක් ගන්න ගියේ නැහැ , එහෙම කළා නම් උන් බයවෙලා එය  අත්හරින බව දැනගෙන හිටියා. මේ ගස පිහිටලා තිබුනේ කාර්යාලයේ එක කාමරයක ජනේලයක් අසලමයි. අපේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි නන්දසිරිට උපදෙස් දුන්නා මොනම හේතුවකටවත් ඒ ජනේලය අරින්න එපා කියලා. ජනේලයට තිරයක් දාලා තිබුන නිසා උන්ට ජනේලහෙන් මෙපිට පෙනෙන්නේ නැහැ වගේම මෙම කාමරය කිසි කෙනෙක් පාවිච්චි කලේ නැති නිසා උන්ට කිසි කරදරයක් උනේ නැහැ. ඔය ජනේලයට උඩින් පොඩි කවුළු කීපයක් තිබුනා, ඉතින් මම ජනේලය ළඟ මේසයක් තියල ඒ මේසය උඩ තව කුඩා මේසයක් තියලා එකේ උඩ try prod එක සහ මගේ කැමරා අම්පන්න ටික අටවා ගත්තා.

ඔය කවුළුවක් අස්සෙන් ෆොටෝ ගහන්න උන හින්දා මගේ කැමරා කෝණය ඉතාම සිමා සහිත උනා. ඒ වගේම ඔය පින්තුර ඉස්සරහින්ම පෙනෙන්න තියන කොලය මට ලොකු බාදාවක් උනත්, එය කඩා ඉවත් කිරීමට මට කිසිම ලෙසකින් ආචාර ධර්ම වලට අනුව ඉඩක් නැහැ. කෙසේ උනත් ඔය සීමාවන්ට යටත්ව බිත්තරයේ සිට පැටවුන් ඉගිල යන තෙක්ම දිනපතා ඡායාරුප ගැනීමේ හැකියාව ලැබුනා. බොහෝවිට ආලෝක තත්වයන් පැවතුනේ ඉතාම නරක ලෙස නමුත් Flash light එකක් බාවිතා කලේ නැහැ. මුලින්ම Flash එකක් බාවිතා කලේ ඔය පැටවුන් ඇස් ඇරපු මුල්ම දවසෙයි.  ඒ වෙනකොට මොනම හේතුවකටවත් ලොකු උන් පැටවුන් අතහැර නොයන බව මම දැනගෙන හිටියා.

කුරුල්ලන්ගේ ඡායාරුප ගන්නා ශිල්පියෙකුට, ඔවුන්ගේ  හැසිරීම් ගැන මනා අවබෝධයක් තිබීම ඉතාම වැදගත්, එසේ නොමැතිව බිත්තර රැකීම හෝ පැටවුන්ගේ ඡායාරුප ගැනීම නොකළ යුත්තක්. ඉතාම වැදගත් වන්නේ කෙසේ හෝ ඡායාරුපය ගැනීම නොව, ඔවුන්ගේ ජිවන රටාවට කිසිසේත් හානියක් නොකර ඔවුන්ට නොදැනී ඡායාරුපය ගැනීම බව ඉතාම හොඳින් මතකයේ තබාගත යුත්තක්.

ඔන්න එහෙනම් ෆොටෝ ටික බලන්න. දින දාලා තියෙනවා කාල පරාසය ගැන අවබෝධයක් ලබාගන්න.



කුරුල්ලයි කිරිල්ලයි අපරුවෙන් හදාගත්ත කැදැල්ල 

 මේ බිත්තර දින කීපයක් රැකලා තියෙන්නේ   - දිනය: ජුනි මාසේ 13 දා


 සා පිපාසා  නොතකා - දිනය: ජුනි මාසේ 13 දා

පළමු පැටියා බිහිවී    - දිනය: ජුනි මාසේ 15 දා

පැටවුන් දෙදෙනම් බිහිවී අවසන්     - දිනය: ජුනි මාසේ 15 දා

පළමු ආහාර වේල   - දිනය: ජුනි මාසේ 15 දා

පෙරදාට වඩා වැඩුණු පැටවුන් - දිනය: ජුනි මාසේ 16 දා

පිහාටු මතුවන ලකුණු  - දිනය: ජුනි මාසේ 16 දා

පිහාටු මතුවඇත, හිස මදක් ඍජුව තබහත හැක. - දිනය: ජුනි මාසේ 18 දා


වේගවත් වර්ධනයට අවැසි පෝෂණය . - දිනය: ජුනි මාසේ 18 දා



තවමත් ඇස් පෑදී නැත. වේගවත් ආහාර ගැනීම  - දිනය: ජුනි මාසේ 18 දා

පිහාටු මෙන්ම ශරීර ප්‍රමාණය බොහෝ වර්ධනය වී ඇත   - දිනය: ජුනි මාසේ 19 දා

මෙලොව එලිය දුටු දා   - දිනය: ජුනි මාසේ 19 දා

වර්ධනයට අවැසි පෝෂණයසහ විවේකය  - දිනය: ජුනි මාසේ 20 දා


බොහෝ  පිහාටු වර්ධනයවී,  විවේකයයෙන්  - දිනය: ජුනි මාසේ 21 දා

 බඩගිනි කාරයෝ   - දිනය: ජුනි මාසේ 21 දා

මේ තමයි අවසන් රුප රාමුව. ඉන්පසු දින තුනක් මාහට ඔෆිස් යන්න බැරි වුනා. තුන්වන දිනයේ ඔෆිස් ගියගමන් කලේ කුරුලුකුඩුව බලපු එක. මට මගේ ඇස්  අදහා ගන්න බැරි උනා, කුරුළු පැටවූ දෙන්නා කුඩුවෙන් එලියට ඇවිත් අත්තක වහලා ඉන්නවා. මම ඉක්මනට කැමරාව අරගෙන ආවා, කැමරාව එලියට  අරගන්න ටිකට මේ දෙන්නා අම්මත් එක්ක ඒ අසල තිබුන විශාල ගසකට පියඹා ගියා. අවසන් ෆොටෝ එක ගන්න බැරි උනත්, ඒ දෙන්නා පියඹා ගිය ආකාරය දැක්කම මට හරිම සතුටක් ඇති වුනා.

මේ පහල තියෙන වීඩියෝ එක බලන්න.




පසු සටහන:
මේ ෆොටෝ ටික ගත්තේ ඉතාම අමාරුවෙන්. ඒ ජනේලයට ඉහලින් තිබුන කවුළුවේ වීදුරුවක් සවිකරලා තිබුන නිසා ෆොටෝ එතරම් පැහැදිලි නැහැ. මේ ඡායාරුප සමුහයේම හොඳ තත්වයේ ෆොටෝ තියෙන්නේ දෙකයි නමුත් මේ ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම ඡායාරුප ගත කිරීමට ලැබීම විශාල සතුටක්.

ෆිල්ම් කැමරා එකේ වයිට් බැලන්ස්



වර්ණ උෂ්ණත්වය ගැන ලියපු කලින් පොස්ට් එකෙන් වර්ණ උෂ්ණත්වය ඡායරුපයකට සිදුකරන බලපෑම සහ ඩිජිටල් කැමරාවක් අදාල ආලෝකයට අනුව සුසර කරගැනීම ගැන කරුණු ඉදිරිපත් කළා. මේ පොස්ට් එකෙන් කතා කරන්නේ   "ෆිල්ම් කැමරා එකේ වයිට් බැලන්ස්  කරන්නේ කොහොමද " යන කරුණ.

දැන් බොහෝ විට  ෆිල්ම් භාවිතා නොකරන නමුත් දැනුම සඳහා මෙය වැදගත් වනවා මෙන්ම ෆිල්ම් රෝල් භාවිතා කරපු කාලේ අපි කාපු කට්ට ගැනත් මේ තුලින් යම් අවබෝධයක් ලබාගන්න පුළුවන්.

ෆිල්ම් කැමරාවේ වයිට් බැලන්ස් කරන්න පුලුවන්ද? - කැමරාවෙන් බැහැ 

ඒ කියන්නේ, ෆිල්ම් රෝල් වලට  වර්ණ උෂ්ණත්වයේ බලපෑමක් නැතිද ? - මේ විදිහෙම බලපෑමක් තියෙනවා 

ෆිල්ම් කැමරාවේ වයිට් බැලන්ස් කරන්න බැරි ඇයි ?, ෆිල්ම් කැමරාවේ වයිට් බැලන්ස් කරන්නත් බැරිනම්, වර්ණ උෂ්ණත්වයේ බලපෑමත් තියෙනවා නම් ඉතින් කොහොමද ෆොටෝ ගත්තේ?

දැන් මොකක්ද දෙන උත්තරේ

පළමුවෙන්ම අපි බලමු ෆිල්ම් කැමරාවේ වයිට් බැලන්ස් කරන්න බැරි ඇයි  කියලා. මේ ගැන තේරුම් ගන්න අපි නැවතත් ඩිජිටල් කැමරාව වෙත යමු. අපි දන්නවා ඩිජිටල් කැමරාවේ ඡායාව සටහන් කරගන්නේ එහි ඇති සෙන්සර් එක මගින් බව. මේ පොස්ට් දෙක කියවන්න බැරි උන අය  මෙතනින් කියවන්න. "කැමරාවේ මෙගා පික්සලේද? සෙන්සර් එක ද?" සහ "කැමරාවේ Sensor Format සහ Crop Factor"  ඉතා සරලව කිවොතින් ,මේ සෙන්සර් එක මතට වැටෙන ආලෝකය විද්‍යුත් ධාරාවක්  බවට පරිවර්තනය කර එය කැමරාවේ  ඇති ප්‍රොසෙසරය මගින් රුපයක්  බවට පරිවර්තනය කරනවා.  ඉතින් මේ ඩිජිටල් ක්‍රියාදාමය  තුලදී එයට නොයෙකුත් විධානයන් ලබා දී අපට අවශ්‍ය ලෙස රුපය සකසා ගත හැකියි.

නමුත්  ෆිල්ම් කැමරාවකට අපි දමන්නේ ෆිල්ම් රෝල් එකක්, ඒ ෆිල්ම් රෝල් එක නිශ්පාදනයේදීම එහි ISO  අගය, භාවිතා කලයුතු වර්ණ උෂ්ණත්වය තීරණය වෙලා ඉවරයි.  එහෙනම් අපි  කරන්න ඕන, අපිට අවශ්‍ය කරන ආලෝකයට අදාළ  වර්ණ උෂ්ණත්වය ඇති ෆිල්ම් රෝල් එකක් භාවිතා කිරීමයි. (ISO  අගයත් එහෙමම තමයි අවශ්‍ය වන්නේ අඩු ආලෝක තත්වයන් මත ෆොටෝ ගන්න නම් , වැඩි ISO  අගයක් සහිත රෝලක් ගන්න වෙනවා )



ඉහත රුපය බලන්න එම ෆිල්ම් රෝල් එකේ සටහන් කරලා තියෙනවා DAYLIGHT OR BLUE FLASH කියලා.

දැන් පහත රුපය බලන්න  එහි සටහන් කරලා තියෙනවා TUNGSTEN ලෙසට


එකල බොහෝ සුලබව  ලබාගත හැකිව තිබුනේ "DAYLIGHT" සහ "TUNGSTEN"යන වර්ණ උෂ්ණත්වයන් වෙනුවෙන් නිෂ්පාදිත  ෆිල්ම්රෝල්, නමුත් ඉතා කලාතුරකින් "FLUORESCENT " ලෙස ටියුබ් ලයිට් වෙනුවෙන් නිෂ්පාදිත ෆිල්ම් රෝල් තිබුනා.

දැන් ප්‍රශ්නේ හරි නේද? නැහැ,  තාම හරි නැහැ. අපි දන්නවා සුර්යාලොකයත් සවස් සහ උදේ කාලයේදී අඩු වර්ණ උෂ්ණත්වයක් ලබාදෙන බව. එහෙනම් ඉතින් Daylight  type  එකක් අරගෙන සවස් කාලයේදී එහෙම නැත්නම් උදේ කාලයේදී ෆොටෝවක් ගන්නේ කොහොමද? එහෙම ෆොටෝ එකක් ගත්තොත් මොකද වෙන්නේ?

පසුගිය පාඩම නැවත මතක් කරලා බලන්න එතකොට උත්තරේ ලැබෙයි, උදේ සහ සවස වර්ණ උෂ්ණත්වය අඩුවෙන නිසා මේ Daylight  type එකකින් ඒ වගේ වෙලාවක ෆොටෝ එකක් ගත්තොත් කහ පැහැයක් ගන්නවා. බැරි වෙලාවත් ෆ්ලෑෂ් කරන්නේ නැතිව ගේ ඇතුලේ තියෙන ලයිට් එළියෙන් ෆොටෝ එකක් ගන්න උනොත්? ෆිල්ම් රෝල මාරුකරලා Tungsten  type එකක් දමන්නත්  බැහැනේ. ඔන්න ඔතන දී තමයි මේ වර්ණ උෂ්ණත්වය සකස් කරන්න වෙන්නේ. නමුත් මේක කැමරාවෙන් කරන්න බැහැ කියලා දැන් අපි දන්නවනේ, එහෙනම් කොහොමද මේක කරන්නේ? මෙතැනදී අපිට කරන්න වෙන එකම දේ තමයි කැමරාවට ඇතුල්වන ආලෝකයේ වර්ණය වෙනස්කිරීම.

පළමුව මේ උදාහරණය බලමු.

 Daylight  type ෆිල්ම් එකකින් සවස් කාලයේදී ෆොටෝ එකක් ගැනීම, දැන් අපි දන්නවා අපි ගන්න ෆොටෝ එකේ අවසන්  පුතිපලය කහ පැහැය වැඩිවෙන බව.එතකොට අපි කරන්නේ කැමරා ලෙන්ස් එකට ඉදිරියෙන්  නිල්  පැහැ  ෆිල්ටර් එකක් එකතු කිරීම. එවිට කැමරාවට ඇතුල්වන ආලෝකයෙහි වැඩි නිල්  පැහැයක් ඇති බැවින් කහ පැහැය නැති වෙනවා.

මේ පහල තියන colour wheel එක බලන්න


දැන් තේරෙනවානේ වැඩේ, අපිට අඩුකරන්න ඕන වන වර්ණයට විරුද්ධ වර්ණය ඇති ෆිල්ටර් එකක් යෙදීමෙන් තමයි ඒ දවස් වල ඔය වැඩේ ගොඩ දාගත්තේ. නමුත් වැඩේ හිතන තරම් ලේසි නැහැ. අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ කොපමණ ප්‍රමාණයක density එකක් තියෙන ෆිල්ටර් එකක්ද යොදාගන්න ඕන කියන එක. එහෙම නුනොත් වැඩේ සුං. අඩු density එකක් තියෙන ෆිල්ටර් එකක් දැම්මොත්  colour  cast  එක සම්පුර්ණයෙන් නැති වෙන්නේ නැතිව, අඩුවීමක් වෙනවා, වැඩි density එකක් තියෙන ෆිල්ටර් එකක් දැම්මොත්, ඒ දාන ෆිල්ටර් එකේ පාට colour  cast  එකක් එනවා.

ඉතින් ඉතාම ගැලපෙන නිවැරදි ෆිල්ටරය යොදන්න ඕන. ඒ දවස්වල කැමරාවට අමතරව මේ ෆිල්ටර් වෙනුවෙන්ද විශාල මුදලක් දැරීමට සිදුවුනා. මේ තියෙන්නේ ෆිල්ටර් කීපයක්.
Colour Filters 
මේ තියෙන්නේ Negatives 

ෆිල්ටරයක් තුලින් ආලෝකය ගමන් කිරීමේදී එම ආලෝකයේ යම් ප්‍රමාණයක අඩු වීමක් සිදුවෙනවා. මේ අඩුවන ප්‍රමාණය filter  factor  ලෙස නිෂ්පාදකයා විසින් ෆිල්ටරයේ සටහන් කර තියෙනවා. ඒ අනුව අනවරණයද සකස් කල යුතු වෙනවා.

ෆිල්ටර් භාවිතා කලේ මේ ලෙස වර්ණ උෂ්ණත්වයේ වෙනස නිසා ඇතිවන බලපෑම නිවැරදි කරගැනීමටම පමණක් නෙවේ. වෙනත් නොයෙකුත් කාර්යයන් සඳහා විශේෂයෙන් කලාත්මක ඡායාරුප සඳහා ෆිල්ටර් භාවිතා කිරීම සිදු උනා.

පසු සටහන:
ඔබේ  ලෙන්ස් එකේ ප්‍රමාණයට ගැලපෙන කලර් ෆිල්ටර් කීපයක් (විශේෂයෙන් නිල්  සහ කහ) සොයාගත හැකිනම්,  ඔබේ ඩිජිටල් කැමරාවේ වයිට් බැලන්ස් භාවිතා නොකර ෆිල්ටර් භාවිතයෙන්  වර්ණ උෂ්ණත්වය නිවැරදි කිරීමට උත්සාහ කර මේ පිළිබඳව ප්‍රායෝගික අත්දැකීමක් ලබාගන්න.