Pages

Tuesday, June 25, 2013

ෆිල්ම් කැමරා එකේ වයිට් බැලන්ස්



වර්ණ උෂ්ණත්වය ගැන ලියපු කලින් පොස්ට් එකෙන් වර්ණ උෂ්ණත්වය ඡායරුපයකට සිදුකරන බලපෑම සහ ඩිජිටල් කැමරාවක් අදාල ආලෝකයට අනුව සුසර කරගැනීම ගැන කරුණු ඉදිරිපත් කළා. මේ පොස්ට් එකෙන් කතා කරන්නේ   "ෆිල්ම් කැමරා එකේ වයිට් බැලන්ස්  කරන්නේ කොහොමද " යන කරුණ.

දැන් බොහෝ විට  ෆිල්ම් භාවිතා නොකරන නමුත් දැනුම සඳහා මෙය වැදගත් වනවා මෙන්ම ෆිල්ම් රෝල් භාවිතා කරපු කාලේ අපි කාපු කට්ට ගැනත් මේ තුලින් යම් අවබෝධයක් ලබාගන්න පුළුවන්.

ෆිල්ම් කැමරාවේ වයිට් බැලන්ස් කරන්න පුලුවන්ද? - කැමරාවෙන් බැහැ 

ඒ කියන්නේ, ෆිල්ම් රෝල් වලට  වර්ණ උෂ්ණත්වයේ බලපෑමක් නැතිද ? - මේ විදිහෙම බලපෑමක් තියෙනවා 

ෆිල්ම් කැමරාවේ වයිට් බැලන්ස් කරන්න බැරි ඇයි ?, ෆිල්ම් කැමරාවේ වයිට් බැලන්ස් කරන්නත් බැරිනම්, වර්ණ උෂ්ණත්වයේ බලපෑමත් තියෙනවා නම් ඉතින් කොහොමද ෆොටෝ ගත්තේ?

දැන් මොකක්ද දෙන උත්තරේ

පළමුවෙන්ම අපි බලමු ෆිල්ම් කැමරාවේ වයිට් බැලන්ස් කරන්න බැරි ඇයි  කියලා. මේ ගැන තේරුම් ගන්න අපි නැවතත් ඩිජිටල් කැමරාව වෙත යමු. අපි දන්නවා ඩිජිටල් කැමරාවේ ඡායාව සටහන් කරගන්නේ එහි ඇති සෙන්සර් එක මගින් බව. මේ පොස්ට් දෙක කියවන්න බැරි උන අය  මෙතනින් කියවන්න. "කැමරාවේ මෙගා පික්සලේද? සෙන්සර් එක ද?" සහ "කැමරාවේ Sensor Format සහ Crop Factor"  ඉතා සරලව කිවොතින් ,මේ සෙන්සර් එක මතට වැටෙන ආලෝකය විද්‍යුත් ධාරාවක්  බවට පරිවර්තනය කර එය කැමරාවේ  ඇති ප්‍රොසෙසරය මගින් රුපයක්  බවට පරිවර්තනය කරනවා.  ඉතින් මේ ඩිජිටල් ක්‍රියාදාමය  තුලදී එයට නොයෙකුත් විධානයන් ලබා දී අපට අවශ්‍ය ලෙස රුපය සකසා ගත හැකියි.

නමුත්  ෆිල්ම් කැමරාවකට අපි දමන්නේ ෆිල්ම් රෝල් එකක්, ඒ ෆිල්ම් රෝල් එක නිශ්පාදනයේදීම එහි ISO  අගය, භාවිතා කලයුතු වර්ණ උෂ්ණත්වය තීරණය වෙලා ඉවරයි.  එහෙනම් අපි  කරන්න ඕන, අපිට අවශ්‍ය කරන ආලෝකයට අදාළ  වර්ණ උෂ්ණත්වය ඇති ෆිල්ම් රෝල් එකක් භාවිතා කිරීමයි. (ISO  අගයත් එහෙමම තමයි අවශ්‍ය වන්නේ අඩු ආලෝක තත්වයන් මත ෆොටෝ ගන්න නම් , වැඩි ISO  අගයක් සහිත රෝලක් ගන්න වෙනවා )



ඉහත රුපය බලන්න එම ෆිල්ම් රෝල් එකේ සටහන් කරලා තියෙනවා DAYLIGHT OR BLUE FLASH කියලා.

දැන් පහත රුපය බලන්න  එහි සටහන් කරලා තියෙනවා TUNGSTEN ලෙසට


එකල බොහෝ සුලබව  ලබාගත හැකිව තිබුනේ "DAYLIGHT" සහ "TUNGSTEN"යන වර්ණ උෂ්ණත්වයන් වෙනුවෙන් නිෂ්පාදිත  ෆිල්ම්රෝල්, නමුත් ඉතා කලාතුරකින් "FLUORESCENT " ලෙස ටියුබ් ලයිට් වෙනුවෙන් නිෂ්පාදිත ෆිල්ම් රෝල් තිබුනා.

දැන් ප්‍රශ්නේ හරි නේද? නැහැ,  තාම හරි නැහැ. අපි දන්නවා සුර්යාලොකයත් සවස් සහ උදේ කාලයේදී අඩු වර්ණ උෂ්ණත්වයක් ලබාදෙන බව. එහෙනම් ඉතින් Daylight  type  එකක් අරගෙන සවස් කාලයේදී එහෙම නැත්නම් උදේ කාලයේදී ෆොටෝවක් ගන්නේ කොහොමද? එහෙම ෆොටෝ එකක් ගත්තොත් මොකද වෙන්නේ?

පසුගිය පාඩම නැවත මතක් කරලා බලන්න එතකොට උත්තරේ ලැබෙයි, උදේ සහ සවස වර්ණ උෂ්ණත්වය අඩුවෙන නිසා මේ Daylight  type එකකින් ඒ වගේ වෙලාවක ෆොටෝ එකක් ගත්තොත් කහ පැහැයක් ගන්නවා. බැරි වෙලාවත් ෆ්ලෑෂ් කරන්නේ නැතිව ගේ ඇතුලේ තියෙන ලයිට් එළියෙන් ෆොටෝ එකක් ගන්න උනොත්? ෆිල්ම් රෝල මාරුකරලා Tungsten  type එකක් දමන්නත්  බැහැනේ. ඔන්න ඔතන දී තමයි මේ වර්ණ උෂ්ණත්වය සකස් කරන්න වෙන්නේ. නමුත් මේක කැමරාවෙන් කරන්න බැහැ කියලා දැන් අපි දන්නවනේ, එහෙනම් කොහොමද මේක කරන්නේ? මෙතැනදී අපිට කරන්න වෙන එකම දේ තමයි කැමරාවට ඇතුල්වන ආලෝකයේ වර්ණය වෙනස්කිරීම.

පළමුව මේ උදාහරණය බලමු.

 Daylight  type ෆිල්ම් එකකින් සවස් කාලයේදී ෆොටෝ එකක් ගැනීම, දැන් අපි දන්නවා අපි ගන්න ෆොටෝ එකේ අවසන්  පුතිපලය කහ පැහැය වැඩිවෙන බව.එතකොට අපි කරන්නේ කැමරා ලෙන්ස් එකට ඉදිරියෙන්  නිල්  පැහැ  ෆිල්ටර් එකක් එකතු කිරීම. එවිට කැමරාවට ඇතුල්වන ආලෝකයෙහි වැඩි නිල්  පැහැයක් ඇති බැවින් කහ පැහැය නැති වෙනවා.

මේ පහල තියන colour wheel එක බලන්න


දැන් තේරෙනවානේ වැඩේ, අපිට අඩුකරන්න ඕන වන වර්ණයට විරුද්ධ වර්ණය ඇති ෆිල්ටර් එකක් යෙදීමෙන් තමයි ඒ දවස් වල ඔය වැඩේ ගොඩ දාගත්තේ. නමුත් වැඩේ හිතන තරම් ලේසි නැහැ. අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ කොපමණ ප්‍රමාණයක density එකක් තියෙන ෆිල්ටර් එකක්ද යොදාගන්න ඕන කියන එක. එහෙම නුනොත් වැඩේ සුං. අඩු density එකක් තියෙන ෆිල්ටර් එකක් දැම්මොත්  colour  cast  එක සම්පුර්ණයෙන් නැති වෙන්නේ නැතිව, අඩුවීමක් වෙනවා, වැඩි density එකක් තියෙන ෆිල්ටර් එකක් දැම්මොත්, ඒ දාන ෆිල්ටර් එකේ පාට colour  cast  එකක් එනවා.

ඉතින් ඉතාම ගැලපෙන නිවැරදි ෆිල්ටරය යොදන්න ඕන. ඒ දවස්වල කැමරාවට අමතරව මේ ෆිල්ටර් වෙනුවෙන්ද විශාල මුදලක් දැරීමට සිදුවුනා. මේ තියෙන්නේ ෆිල්ටර් කීපයක්.
Colour Filters 
මේ තියෙන්නේ Negatives 

ෆිල්ටරයක් තුලින් ආලෝකය ගමන් කිරීමේදී එම ආලෝකයේ යම් ප්‍රමාණයක අඩු වීමක් සිදුවෙනවා. මේ අඩුවන ප්‍රමාණය filter  factor  ලෙස නිෂ්පාදකයා විසින් ෆිල්ටරයේ සටහන් කර තියෙනවා. ඒ අනුව අනවරණයද සකස් කල යුතු වෙනවා.

ෆිල්ටර් භාවිතා කලේ මේ ලෙස වර්ණ උෂ්ණත්වයේ වෙනස නිසා ඇතිවන බලපෑම නිවැරදි කරගැනීමටම පමණක් නෙවේ. වෙනත් නොයෙකුත් කාර්යයන් සඳහා විශේෂයෙන් කලාත්මක ඡායාරුප සඳහා ෆිල්ටර් භාවිතා කිරීම සිදු උනා.

පසු සටහන:
ඔබේ  ලෙන්ස් එකේ ප්‍රමාණයට ගැලපෙන කලර් ෆිල්ටර් කීපයක් (විශේෂයෙන් නිල්  සහ කහ) සොයාගත හැකිනම්,  ඔබේ ඩිජිටල් කැමරාවේ වයිට් බැලන්ස් භාවිතා නොකර ෆිල්ටර් භාවිතයෙන්  වර්ණ උෂ්ණත්වය නිවැරදි කිරීමට උත්සාහ කර මේ පිළිබඳව ප්‍රායෝගික අත්දැකීමක් ලබාගන්න.


No comments:

Post a Comment

ඔබට මාතෘකාවට අදාළ යම් ගැටළුවක් වෙතොන් එය මෙහි කොමෙන්ට් එකක් ලෙස පලකරන්න. හැකි ඉක්මනින් පිළිතුරු ලැබීමට කටයුතු කරනු ඇත.

මෙය හුදෙක් දැනුම බෙදාදීම සඳහාම වෙන්කළ අඩවියක් වැවින් කොමෙන්ට් කිරීම අදාළ ගැටළු වලට පමණක් සිමා කර ඇති බව කාරුණිකව දැනුම් දෙමි.