Pages

Friday, July 26, 2013

ඩිජිටල් කැමරාවේ ඔටෝ ෆෝකස්


අපි භාවිතා කරණ ඩිජිටල් කැමරා වල ඔටෝ ෆෝකස් (Auto Focus System) පද්ධතිය  ක්‍රියා කරන්නේ කෙසේදැයි යන කරුණ  පිළිබඳව සරල දැනුමක්  ලබා ගනිමු.

ඩිජිටල් කැමරා වල ඔටෝ ෆෝකස් (Auto Focus System) පද්ධතිය  වෙනුවෙන් සෙන්සර, පාලක පද්ධතියක් (Control unit) සහ  මෝටරයක් අවශ්‍ය වේ.  මෝටරය අවශ්‍ය වනුයේ කාචය නාභිගත කිරීම (Focusing) සඳහා වන  අතර, එම මෝටරය කැමරා බොඩිය තුල හෝ ලේන්සය තුල ඇතුලත් කර ඇත.

ප්‍රධාන වශයෙන් ඔටෝ ෆෝකස් ක්‍රමවේදයන් දෙකක් භාවිතා වේ.
1. Active Auto-focus system
2. Passive Auto-focus system

Active Auto-focus system:  මෙම ක්‍රමය ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ  point and shoot cameras වල වන අතර, ඒ සඳහා  අතිධ්වනි තරංග (ultra sonic sound wave)  හෝ අධෝරක්ත කිරණ  (Infra Red (IR) beam) ධාරාවක්  කැමරාවේ සිට වස්තුව වෙත නිකුත්කර, එහි පරාවර්තයන මැනීමෙන්  එම වස්තුවට ඇති දුර පිළිබඳව ගණනය කිරීමක් සිදු කරණ අතර එම ගණනය කිරීමෙන් ලැබෙන දුර ප්‍රමාණයට සරිලන ලෙස කැමරා කාචය නාභිගත කිරීම සඳහා මෝටරය වෙත සංඥාව පාලක පද්ධතිය මගින් ලබා දේ. (දැන් මේ සඳහා බොහෝවිට භාවිතා වන්නේ  අධෝරක්ත කිරණ වේ.)

Passive Auto-focus system: මෙම ක්‍රමය  භාවිතා කරනුයේ  DSLR සහ  Hybrid  කැමරා සඳහාය.  මෙහිදී කැමරාව වෙතින් වස්තුව කරා අතිධ්වනි තරංග  හෝ අධෝරක්ත කිරණ වැනි බලශක්තියක්  නිකුත් නොකෙරේ.   (ආලෝකය මඳ අවස්ථාවන්හිදී  පමණක් Auto-focus assist beam එකක්  ආලෝකය සැපයීම වෙනුවෙන් යොදා ගනී.)  මෙම ක්‍රමයේදී සිදුකරනු ලබන්නේ කැමරාව එම වස්තුව දකිමින් එයට සරිලන පරිදි කාචය නාභිගත කරගැනීමයි. Passive AF ක්‍රමය තවදුරටත් Contrast Detection සහ  Phase Detection. ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදේ.


ඉහත දැක්වෙන්නේ Nikon D80 කැමරාවේ AF modes වේ.

Contrast Detection

මෙම ක්‍රමයේදී, කැමරාවේ ලේන්සය තුලින් විත්  එහි ප්‍රධාන සෙන්සරය (main sensor) මත ඇතිවන ප්‍රතිබිම්බයේ ඇති ආලෝකයේ වෙනස (Contrast) එම  ප්‍රධාන සෙන්සරය මගින්ම මැනීමක් සිදුකරනවා. නිවැරදි නාභිගත වීමකදී, ප්‍රතිබිම්බයේ එක ළඟ ඇති පික්සල් ( pixels) අතර ඇති ආලෝකයේ තිව්රතාවයේ වෙනස (intensity difference)  වැඩි වෙනවා. පාලක පද්ධතිය එහි  ඇති විශේෂිත ඇල්ගොරිදමයක් (algorithm) උපයෝගි කරගනිමින් මෙම ආලෝක තිව්රතාවයේ වෙනස මානනය කරමින්, ලේන්සය ඉදිරියට සහ පසුපසට ගෙනයාම සඳහා මෝටරය වෙත සංඥා නිකුත් කරණ අතර, ආලෝක තිව්රතාවයේ වෙනස  උපරිම වන අවස්ථාව නිවැරදි නාභිගත කිරීම ලෙස තීරණය කරනවා.

සාමාන්‍යයෙන් මෙම Contrast Detection Auto-focus ක්‍රමය සාපේක්ෂ වශයෙන් මන්දගාමී බවක් දක්වනවා. විශේෂයෙන් අඩු ආලෝක තත්වයන් හීදී නාභිගත කිරීමට ගතවන කාලය අධික වන අතර, නාභිගත කිරීමට නොහැකි වීමටද පුළුවන.

බොහෝවිට බ්‍රිජ් කැමරා සඳහා මෙම ක්‍රමය යොදාගන්නා අතර, මුල් කාලයේ DSLR කැමරා සඳහාද මෙම ක්‍රමය යොදා ගනු ලැබුවා.

පහත  ආදර්ශයෙහි ඇති sliding bar එක වෙනස් කරමින් Contrast Detection Auto-focus ක්‍රමය ගැන වඩාත් නිවැරදි අවභෝධයක් ලබාගන්න.












Phase detection.

මෙම ක්‍රමයේදී, කාචය තුලින් ලැබෙන ආලෝක ධාරාව, කුඩා මයික්‍රෝ කාච දෙකක් මගින් දෙකට බෙදා, මේ වෙනුවෙන්ම ඇති සෙන්සර දෙකක් වෙත යොමුකර එම සෙන්සර දෙකෙහි  ඇතිවන ප්‍රතිබිම්බ දෙක සංසන්දනය කිරීමක් කරනු ලබයි. මෙහිදී පාලක පද්ධතිය මෙම ප්‍රතිබිම්බ දෙකෙහි ඇති ආලෝක තිව්රතාවයේ වෙනස සහ වෙන්කුරු දෝෂය (separation error) මැනීමක් සිදුකර ඒ මත කාචය නාහිගත කිරීම වෙනුවෙන් මෝටරය වෙත සංඥා නිකුත් කරයි. මෙම වෙන්කුරු දෝෂය (separation error) මැනීම මගින් කාචය නාභිගත කිරීම සඳහා කරකැවිය යුතු දිශාව (ඉදිරියට හෝ පසුපසට) තීරණය කිරීමේ හැකියාවක්ද ඇත. එබැවින් මෙම ක්‍රමය ෆෝකස් කිරීමේදී වඩා කාර්යක්ෂම වන අතර, දැනට ඇති  සාර්ථකම ක්‍රමය වේ.

පහත  ආදර්ශයෙහි ඇති sliding bar එක වෙනස් කරමින් Phase detection  Auto-focus ක්‍රමය ගැන වඩාත් නිවැරදි අවභෝධයක් ලබාගන්න. එමෙන්ම එහි  flip mirror to take picture ලෙස නම්කර ඇති  check box එක මත click කර බලන්න.

No comments:

Post a Comment

ඔබට මාතෘකාවට අදාළ යම් ගැටළුවක් වෙතොන් එය මෙහි කොමෙන්ට් එකක් ලෙස පලකරන්න. හැකි ඉක්මනින් පිළිතුරු ලැබීමට කටයුතු කරනු ඇත.

මෙය හුදෙක් දැනුම බෙදාදීම සඳහාම වෙන්කළ අඩවියක් වැවින් කොමෙන්ට් කිරීම අදාළ ගැටළු වලට පමණක් සිමා කර ඇති බව කාරුණිකව දැනුම් දෙමි.