Pages

Monday, July 15, 2013

මැක්රෝ ඡායාරුප - Macro photography


මැක්රෝ  ඡායාරුප ( Macro Photography)  ප්‍රවීනයන්ට  මෙන්ම ආධුනිකයන්ට  ද  ඉතා සිත් ගන්නා අංශයක් වේ.  මැක්රෝ ඡායාරුප ගැනීම අපහසු කාර්යයක් නොවුවද ඒ වෙනුවෙන් විශේෂිත උපකරණ යොදාගැනීමට සිදුවීම සමහරක් අවස්ථාවන්හිදී ආධුනිකයන් හට ගැටළුවක් වන අවස්ථාවක් වේ.

බොහෝ අවස්ථාවන්හිදී මැක්රෝ  ඡායාරුප ඉතා සමීප ඡායාරුප සමග පටලවා ගැනීමක්  දක්නට ලැබේ. එබැවින්  පළමුව මැක්රෝ  ඡායාරුප යනු කුමක් දැයි අර්ථ විග්‍රහ කරගැනීම වටි.

මැක්රෝ  ඡායාරුප යනු අප ඇසට පෙනෙන ඉතා කුඩා වස්තුන්ගේ අති සමීප ඡායාරුපයක් වන අතර, එහි ප්‍රතිබිම්බයේ විශාලනය (සෙන්සරය හෝ සේයාපටලය මත ඇතිවන) සජීවී ප්‍රමාණයේ (1:1) හෝ ඊට වඩා විශාල විය යුතුය.


උපකරණ සහ තාක්ෂණික ක්‍රම 

මැක්රෝ  ඡායාරුප ගැනීම සඳහා ඒ සඳහා විශේෂයෙන් සැකසු  මැක්රෝ කාච (Macro  Lens) භාවිතා කල යුතු වෙනවා, මෙම කාච ඉතා මිල අධික වෙනවා.

මැක්රෝ කාච (Macro  Lens) 

මෙම මිල අධික මැක්රෝ කාච (Macro  Lens) යොදා නොගෙන මැක්රෝ  ඡායාරුප ගැනීමේ ක්‍රම කීපයක් ද ඇත. එම ක්‍රම ගැන ද දැනගැනීම වැදගත් වෙනවා. මැක්රෝ කාච යොදා නොගෙන මෙම ක්‍රම මගින්ද ඉතා හොඳ තත්වයේ ඡායාරුප නිර්මාණය කරගත හැක.

Extension Tubes: සෙන්සරය සහ කාචය අතර දුර වැඩි වන පරිදි කාචයත් කැමරා බොඩි එකත් අතරට Extension Tub යෙදීම  මගින්ද මැක්රෝ  ඡායාරුප ගැනීම සිදුකල හැක. මෙය ඉතා ජනප්‍රිය ක්‍රමයක් වගේම මිල අඩු ක්‍රමයක් වශයෙන් ද දක්වන්න පුළුවන්. එමෙන්ම මෙහිදී කාචය ඉදිරියෙන් හෝ පිටිපසින් වෙනත් කාචයක් හෝ පෙරනයක් (optics) සවි නොවන  නිසා ඔබගේ කාචයේ ගුණාත්මක භාවය කෙරෙහි කිසිදු බලපෑමක් සිදු නොවීම ඉතා විගාල වාසියක් වේ.

Extension Tubes

Close-up lens එකක් හෝ Close-up filter  එකක් කැමරා කාචයට ඉදිරියෙන් සවිකිරීම මගින්ද මැක්රෝ  ඡායාරුප ගැනීම කළ හැකි වුවද එය මහින් කාචයේ ගුණාත්මක භාවය කෙරෙහි අති විශාල බලපෑමක් සිදුකල හැක. බොහෝවිට මේ ආකාරයෙන් ගනු ලබන ඡායාරුප වල ගුණාත්මක භාවය, මැක්රෝ කාච  හෝ Extension Tub යොදා ගනු ලබන ඡායාරුප වලට වඩා අඩු වේ.



Reversing Ring : කැමරාවේ සාමාන්‍ය කාචය, එහි ඉදිරිපය කොටස කැමරා බොඩි එකට සවිවන සේ සකස් කර ඇති reversing ring  නමැති උපකරණය මගින් කැමරාවට සවිකිරීම ද තවත් එක්  ක්‍රමයකි.

Reversing Ring එකක් යොදා කැමරා කාචය සවිකර ඇති අයුරු.

Macro Coupler නම් උපකරණය මගින් සාමාන්‍ය කැමරා කාචය එලෙසම තිබියදී එයට ඉදිරියෙන් තවත් කාවයක්  පෙර කි අයුරින්  එහි ඉදිරිපස සසුපසට පිහිටන ආකාරයට සවිකිරීම මගින්ද ඉතා විශාලනයක් සහිත  මැක්රෝ  ඡායාරුප ලබාගත හැක. කැමරා කාච දෙකෙහි ෆිල්ටර් සඳහා ඇති කොටස් දෙක එකට යා කල හැකි ලෙස මෙම Macro Coupler ring එක සකසා ඇත.





බ්‍රිජ් සහ "point and  shoot" කැමරා වල ලෙන්ස් මාරු කිරීමේහැකියාව නොමැති නිසා, ඒ කැමරා වල මැක්රෝ  ඡායාරුප ගැනීම සඳහා වෙනමම බොත්තමක්  ඒ වෙනුවෙන් ලබා දී ඇත. මෙවැනි අවස්ථාවකදී එම බොත්තම එබීමෙන් මැක්රෝ සක්‍රිය කරගත හැක. 



මැක්රෝ  ඡායාරුප කරණයේ අංශ කීපයක්.

සමනලුන් : ඉතා කුඩා සමනලුන් මැක්රෝ  ඡායාරුප කරණයේ ඉතාම සිත් ගන්නා  අංශයක් වන අතර මොවුන් වෙත ලඟා වීම ඉතා ඉවසීමෙන් මෙන්ම සීරුවෙන් කල යුත්තක් වෙනවා.




ජල බිඳු : වර්ෂාවකට පසු හෝ හිමිදිරි පාන්දර දකින්නට ලැබෙන ජල  බිඳු ද ඔබගේ මැක්රෝ  ඡායාරුප  වලට ඇතුලත් කරගත හැක.




මල්: ඉතා කුඩා මල් සහ කොළ වර්හ ද සිත් ගන්නා සුළු මැක්රෝ  ඡායාරුපයන්  වේ.




කෘමින්: ඉතා කුඩා කෘමින් ද ඔවුන්ගේ වර්ණ සහ හැඩතල ඉස්මතුවන ආකාරයට මැක්රෝ  ඡායාරුප වලට ලක් කල හැක.




Saturday, July 13, 2013

Silhouette Photography


අද අපි කතා කරන්න යන්නේ  Silhouette Photography ගැන. මෙය ආලෝකයට විරුද්ධව ඡායාරුප ගැනීම යන අර්ථයෙන් Against the light  photography  කියාත් හඳුන්වනවා.  සිලුවට් ඡායරුපයකදී, අපි ඡායාරුප ගත කරණ  වස්තුව තනි පැහැයකින්, බොහෝ විට කළු පැහැයෙන්  යුක්ත වන අතර පසුබිම සුදු හෝ දීප්තිමත් වර්ණයක් ගනී.

සිලුවට් ඡායාරුපයක් ගැනීම සඳහා ආලෝකයට විරුද්ධව ඡායාරුපය ගතයුතු වෙනවා. තවත් විදිහකින් කියනවා නම්, අපි සාමාන්‍යයෙන් ඡායාරුප ගැනීමේදී, ආලෝක ප්‍රභවය, ඡායාරුප ශිල්පියාගේ පිටුපසින් සිටින ලෙස ස්ථාන ගත කලත් මෙහිදී කරන්නේ ආලෝක ප්‍රභවය ඡායාරුප ශිල්පියාගේ  ඉදිරියෙන් සිටින ලෙස ස්ථාන ගත කිරීමයි.

ස්වාභාවික ආලෝක තත්ත්ව යටතේදී මෙන්ම ස්ටුඩියෝ එකක්  තුල  කෘතීම ආලෝක යටතේදීද සිලුවට් නිර්මාණය කල හැක. සිලුවට් ඡායාරුපයක් නිර්මාණය කිරීම සඳහා එහි අඳුරු  සහ ආලෝකමත් කොටස් අතර ආලෝකයේ වෙනස (contrast) ඉතා වැඩි විය යුතුයි. මෙලෙස ආලෝක වෙනස වැඩිවීම නිසාම අඳුරු කොටස් වල විස්තර (details) සටහන් නොවීම සිදුවෙනවා. 

සිලුවට් ඡායාරුපයක් නිර්මාණයේ අනිකුත් වැදගත් සාධකය වන්නේ අනාවරණයයි. මෙහිදී අපි අනාවරණය ලබාදිය යුත්තේ පසුබිමට නිවැරදි අනාවරණයක් ලැබෙන ලෙසයි,  එවිට වස්තුව මන්ද අනාවරණයට ලක්වීම නිසා තනි කළු පැහැයක් ගන්නවා 

සිලුවට් ඡායාරුපයන්  හි ඇති වස්තුන්ගේ details නොපෙනීම  නිසාම එම ඡායාරුප වලට නොයෙකුත් අර්ථකතනයන් දිය හැකිවෙනවා. පහත ඇති ඡායාරුපය බලන්න.


මෙම ඡායරුපයට දිය හැකි අර්ථකථනයන් මොනවාද?

ඇය දුකෙන් සිටිනවා ?
ඇය   තනිකමින් සිටිනවා?
ඇය නිදසහේ සිටිනවා?

මෙවැනි නොයෙකුත් අර්ථකතනයන් දියහැකි වෙනවා. එම නිසාම මේ සිලුවට් ඡායාරුප බොහෝ සෙයින් භාවාත්මක ස්වභාවයක් ගන්නා බව මගේ හැඟීමයි..

පහත ඇති සිලුවට් කිහිපය බලන්න.





Friday, July 12, 2013

2013 වෙසක් බලන්න.

ISO 100, f 7.1, 1/15"

ISO 800, f 4, 1/60"

ISO 3200, f 5.3, 1/10"

ISO 3200, f 5.6, 1/13"

ISO 3200, f 5.3, 1/25"

ISO 3200, f 3.5, 1/25"

ISO 100, f 13, 5"

ISO 100, f 20, 5"

ISO 800, f 5.6, 1/5"

ISO 800, f 5.6, 1/3"

Wednesday, July 10, 2013

රාත්‍රී ඡායාරුප.

අද කතා කරන්න බලාපොරොත්තු වන රාත්‍රී  ඡායාරුප කරණය   " Long -exposure photography " ලෙස හඳුන්වන්න පුළුවන් . මෙහිදී  සිදුකරනුයේ දිගු අනාවරණ කාලයක් ලබාදීමයි.(slow shutter speed) මෙම ක්‍රමයෙන්, නිසල වස්තුන් ඡායරුපහේ පහැදිලිව සටහන් වන අතර චලිතයන් සහිත වස්තුන්හි චලනය ඡායරුපයේ වේ. චලනය වන ආලෝක ධාරාවන්හි ගමන් මාර්ගය පැහැදිලිව ඡායාරූපයේ සටහන් වීම තුලින්  ඡ්යාරුපයට අධික ආකර්ෂණයක් ලැබේ.

දිගු අනාවරණයක් ලබාදීම සඳහා කැමරාව tripod එකක් මත ස්ථානගත කලයුතු වෙනවා. එමෙන්ම ෂටරය ක්‍රියාත්මක කිරීම සඳහා remote shutter release එකක් යොදාගැනීම මගින් ෂටරය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි සුළු චලනයන් මගහරවා ගත හැක.  remote shutter release එකක් නොමැතිනම් මේ සඳහා self timer එක යොදා ෂටරය ක්‍රියාත්මක කරන්න.







Tuesday, July 9, 2013

ආලෝකයෙන් ඇඳීම - Light Painting Photography


අපි කලින් ඉගෙනගෙන තියෙනවා Photography කියන වචනය හැදුන  ආකාරය,  අමතකද? හොඳයි එහෙනම් අපහු කියන්නම්  ෆොටෝස්  සහ ග්‍රෆෝස්  කියන ග්‍රීක වචන දෙකින් තමයි  Photography කියන වචනය  හැදිලා තියෙන්නේ. 

ෆොටෝස් = ආලෝකය
ග්‍රෆෝස් = ලිවිම, ඇඳීම

Photography කියන වචනයේ තේරුම තමයි ආලෝකයෙන් ඇඳීම එහෙම නැත්නම් ආලෝකයෙන් ලිවීම කියන එක. අද පොස්ට් එකෙන් මම කියලා දෙන්න යන්නේ අපි සාමාන්‍යයෙන් ෆොටෝ ගන්න ක්‍රමයට වෙනස් වූ  Light Painting Photography (ආලෝකයෙන් ඇඳීම)  කියන ක්‍රමය. 

ඇත්තෙන්ම මේ Light Painting Photography වලදී අපි කරන්නේ, අපිට ලැබෙන ආලෝක ප්‍රභවය උපයෝගි කරගෙන abstract art  එකක් විදිහට වර්ණ සහ හැඩතල යොදාගෙන අපේ ෆොටෝ එක නිර්මාණය කරගැනීමයි. මේ Light Painting Photography කියන ක්‍රමය Abstract Photography යටතට ගන්නත් පුළුවන්.

Light Painting Photography වලදී අපි කරන්නේ දීර්ග අනාවරණ කාලයක් (longer exposure time ) ලබාදෙමින් (බොහෝ විට තත්පර කිහිපයක්) කැමරාව අපිට අවශ්‍ය කරන රටාව ග්‍රහණය කරගත හැකි අයුරින් චලනය කිරීමයි. කැමරාව නිශ්චලව තබා ආලෝක ප්‍රභවය චලනය කිරීමෙන්ද මේ ආකාර ඡායාරුප නිර්මාණය කල හැක. 

 මේ ක්‍රමය සාර්ථකව සිදුකල හැක්කේ රාත්‍රී කාලවලදී හෝ කළුවර කාමරයක් තුලදීය. මෙහිදී ශිල්පියා තම අත  ඇති කැමරාව පේන්ට් බ්‍රෂ් එකක් ලෙසද, ආලෝකය වර්ණ ලෙසද යොදාගනිමින්, තමන්ගේ දක්ෂතාවය සහ නිර්මාණශිලිත්වය මත සාර්ථක නිර්මාණයක් සිදුකරනු ලබයි.

පහල තිබෙන  Light Painting Photos  කීපය චමිඳු විකුම්ශ්‍රී  ගේ නිර්මාණ එකතුවෙන්.









Saturday, July 6, 2013

කුරුල්ලන්ගේ ඡායාරුප ගනිමු.


මිට කලින් පොස්ට් කීපයකම කුරුල්ලන්ගේ ඡායාරුප පලකලානේ. අද මේ පොස්ට් එකෙන්, මගේ ප්‍රියතම අංශය වන  කුරුල්ලන්ගේ ඡායාරුප ගැනීම ගැන කෙටි හැඳින්වීමක් කරන්න හිතුවා.

වනජීවීන්  අතර බොහෝ සුලබව දකින්නට ලැබෙන සත්ව කොටස තමයි කුරුල්ලන් කියන්නේ. ගෙවත්තේද බොහෝ කුරුළු විශේෂ දකින්නට පුළුවන්. මේ අය  හඳුන්වන්නේ ගෘහාශ්‍රිත පක්ෂීන් එහෙම නැත්නම් Garden Birds ලෙසටයි.  කුරුල්ලන්ගේ ඡායාරුප ගැනීමට කැමති ආධුනිකයන්  මුලින් මේ ගෘහාශ්‍රිත පක්ෂීන්ගේ ඡායාරුප ගැනීම  වඩා සුදුසු වන්නේ, ඔවුන් අනිකුත් පක්ෂීන්ට වඩා මිනිසුන්ට දක්වන බිය සහ කුලෑටි ගතිය අඩු නිසයි.  කෙසේ වෙතත් වනජීවී ඡායාරුප කරණයේදී කුරුල්ලන්ගේ ඡායාරුප ගැනීම ඉතාම දුෂ්කර බව කිවයුතු වෙනවා.


කුරුල්ලන්ගේ ඡායාරුප ගැනීමේදී  ඔබ;

1. පරිසරය තුල සැඟවී සිටීමට දක්ෂ විය යුතුයි: මේ සඳහා කොළ පැහැති යුත් ඇඳුම් භාවිතය සුදුසු වෙනවා, දීප්තිමත් වර්ණ සහිත ඇඳුම් කිසිසේත් අදින්න එපා. සමහර විට  Sniper කෙනෙක් වගේ වෙස්වලා ගන්නත් සිදුවෙනවා. හැකිනම් ඔබේ කැමරාවට  කොළ පැහැ  ආවරණයක් යොදන්න.

2.ඔවුන්ගේ චර්යා රටාවන් ඉතා හොඳින් අධ්‍යයනය කල යුතු වෙනවා.  බොහෝවිට ඔවුන් එන්නේ එකම ගසකට, සමහර විට එකම අත්තකට. මේ රටාවන් හඳුනාගැනීමෙන් ඔබේ කාර්යය වඩා පහසු වෙනවා පමණක් නොව ඔවුන්ගේ දුර්ලභ අවස්ථාවන් ග්‍රහණය කරගත හැකි වෙනවා.

3.ඉතා දැඩි ඉවසීමක් තිබිය යුතුයි. පක්ෂීන් ඉතාමත් සංවේදී කොටසක්. අපේ සුළු සෙලවීමක් උනත් මේ අය ඉතා හොඳින් හඳුනාගන්නවා. එමෙන්ම ඉතා සුළු ශබ්දයකින්  උනත් පක්ෂීන් ඉතා දැඩි ලෙස තැතිගැනිමකට ලක්වෙනවා.කිසිම විටක ඔවුන් බිය වෙන ආකාරයේ චලනයක් හෝ ශබ්දයක් කරන්න එපා. සමහර විට ඔබට එක ඡායාරුපයක් ගැනීම වෙනුවෙන් කැමරාව මානාගෙන පැයක් හෝ ඊට මදක්  අඩු වැඩි කාලයක් ගතකිරීමට වුවද සිදුවනු ඇත. ඔබගේ නිසොල්මන් තාවය මත ඔවුන්ගේ බිය පහව  යනු ඇත.

4. ඔවුන් ගේ බිය දැක්වෙන සීමාව ( circle of fear ) හඳුනාගන්න. සමහර කුරුළු විශේෂ වෙත මීටර 2ක් පමණ ලඟා විය හැකි වුවත් සමහර විශේෂයන් වෙත මීටර 20 කට වඩා ලඟා වීම අපහසු වේ.

5. කුඩු සැදීමේ යෙදී සිටින සහ බිත්තර රකින අවස්ථාවන්ගේ ඡායාරුප ගැනීම කලයුත්තේ ඔබ ඒ ගැන මනා අවබෝධයක් ඇත්නම් පමණි. ඡායරුපයට වඩා පරිසරයට එකතුවීමට සිටින කුරුළු පැටවුන් ඉතා වටිනා බව සිහි තබාගන්න.

6. ඔබගේ ඡායාරුපය වෙනුවෙන් ගහක කොලයක් හෝ කැඩීමෙන් වැලකි සිටිමට තරම් කාරුණික වන්න. පරිසරයට ආදරය කරන කෙනෙකු වන්න.



අවශ්‍ය උපකරණ;

1. DSLR හෝ High-end Bridge කැමරාවක් 
2. ටෙලි ෆොටෝ ලෙන්ස් - මි.මි. 300 හෝ ඊට වඩා වැඩි නාභි දුරක් සහිත. මෙයට වඩා අඩු නාභි දුරක් ඇති විට අවශ්‍ය තරම් ඔබගේ වස්තුව (subject) වෙත ලඟා විය නොහැකි වීමෙන් හොඳ ප්‍රතිපල ලබාගත නොහැක. නමුත් ගෘහාශ්‍රිත පක්ෂීන් ඡායාරුප ගත කිරීමට නම් මි.මි.150 වැනි කාචයක් උවද සෑහේ.
3. හොඳ Tripod (තෙපාවක්) එකක්.


මේ පහත තියෙන්නේ මගේ කැමරාවට හසුකරගත්, මම ඉතා ආසාකරන ඡායාරුප කීපයක්.





තවත් කුරුළු කුඩු දෙකක් ෆොටෝ ගන්න අවස්ථාව ලැබුනා, කහ කුරුල්ලා ගේ සහ කවුඩා ගේ. ඒ ෆොටෝ පසුව පෙන්නන්නම්.