Pages

Wednesday, June 25, 2014

රවුම් ලෙන්ස් එකෙන් හතරැස් ෆොටෝ වදින්නේ ඇයි?



පහුගිය දවසක මුණු පොතේදැක්කා,"රවුම් ලෙන්ස් එකෙන් හතරැස් ෆොටෝ වදින්නේ ඇයි?" කියලා දාපු ෆොටෝ එකක්. ඇත්තටම මේකේ විශාල පාඩමක් තියෙනවා.  මේක දැක්කාම තමයි මටත් මතක් උනේ පසුගිය ටිකේ ඡායාරුප කරණය ගැන කියාදීපු පාඩම් මාලාවේ අතහැරුණ දෙයක් ගැන. 

හොඳයි කාට හරි කියන්න පුලුවන්ද මේ ප්‍රශ්නෙට උත්තරේ? දැන් ඉතින් කියන්න එපා ෆොටෝ ප්‍රින්ට් කරන්නේ හතරැස් කොලවල කියලා. දැන් එහෙනම් අපි බලමු මොකක්ද මේකට හේතුව කියලා.

ඇත්තටම කියනවානම් ලෙන්ස් එකෙන් ලැබෙන ප්‍රතිබිම්බය රවුම් එකක්. මෙන්න මේ  පහල තියෙන රූපසටහන බලන්න.


 නමුත් මේරවුම් රුපයේ වඩාත්ම පැහැදිලි තාවයක් ඇත්තේ වෘත්තහි මැදට වන්නටයි වෘත්තයෙහි කෙලවරට යනවිට එහි පැහැදිලි බවෙහි අඩුවීමක් දකින්නට ලැබෙනවා. මෙය සිදුවන්නේ කාච වල ඇති දෝෂයන් නිසා. (මෙම කාච දෝෂ හැකි තරම් අවම කරලා තමයි නිෂ්පාදනය කරන්නේ.) එමනිසා ඡායාරුපය සඳහා යොදාගනු ලබන්නේ මෙම වෘත්තයෙහි සෑහීමකට පත්චිය හැකි තරම් පැහැදිලිතාවයක් ඇති මැද කොටස පමණි. මෙය   Circle of acceptable definition ලෙස හඳුන්වනවා.

මෙලෙස ප්‍රතිබිබය සාදන වෘත්තයෙහි සෑහීමකට පත්චිය හැකි තරම් පැහැදිලිතාවයක් ලබාදීමට ඇති හැකියාව කාචයේ Covering Power ලෙස හඳුන්වනවා. මෙම Circle of acceptable definition කොටසෙහි විශ්කම්භය සෙන්සරයේ නොඑසේනම් සේයාපටලයේ විකර්ණයට පමණට හෝ ඊට වඩා ස්වල්පයක් හෝ වැඩි වියයුතුය.

දැන් ඉහත රුපයේ ආකාරයට මෙම  Circle of acceptable definition කොටසෙහි සෙන්සරය පිහිටුවීමෙන් මෙම වෘත්තහිද කෙළවරවල් අතහැර දමා වඩා වැඩි පැහැදිලිතාවයක් ඇති කොටස පමණක් ඡායරුපයට ගත හැකි වෙනවා.

මෙන්න මේ පොඩි ක්‍රියාකාරකම කරලා බලන්න. ඔබ ළඟ ඇති කැමරාවෙන් කොටුරුල් කොලයක හෝ කුඩා අකුරු ඇති පොතක පිටුවක් ඡායාරුප ගත කරන්න. එය කල යුත්තේ මෙසේයි. ඔබට යෙදිය හැකි විශාලතම කාච විවරය යොදන්න. දැන්  ඔබට කැමරාව නාභිගත ( Focus) කල  හැකි අවම දුරට සකසා  එහි  සමීප ඡායාරුපයක් ගන්න. දැන් මෙම රුපය හොදින් නිරීක්ෂණය කිරීමෙන් එහිමැද කොටසට වඩා කෙළවරවල් වල පැහැදිලිතාවය අඩුබව ඔබට දැනගත හැකි වේවි.



Monday, July 29, 2013

Smoke Photography - දුමක් ගහමුද?


ඡායාරුප ශිල්පය ගැන බොහෝ කාලයකින් පොස්ට් එකක් ලියන්න බැරි උනා. ඒ නිසා අද පොස්ට් එකෙන් කියලා දෙන්න යන්නේ Smoke Photography ගැන. Light Painting  Photography  ගැන මිට කලින් පොස්ට් එකකින් කියලා දුන්නා මතක ඇති නේ. අමතකනම් ඔය දීලා තියෙන ලින්ක් එකෙන් ගිහින් බලාගෙන එන්න.

අද කියලා දෙන Smoke Photography ක්‍රමය මගින්ද  ඉතාම සිත්ගන්නා  සුළු ඡායාරුප නිර්මාණය කරගන්න පුළුවන්.  මේ සඳහා, ඉතාම සුළු ප්‍රයත්නයකින් ඔබගේ කාමරය studio එකක් බවට සකස් කරගන්නට පුළුවන්.

මේ සඳහා අවශ්‍ය උපකරණ:

  • DSLR හෝ බ්‍රිජ් වර්ගයේ කැමරාවක් 
  • Slave Flash  එකක් හෝ Spot Light  එකක් 
  • Flash Trigger එකක් ( Slave Flash  එක ක්‍රියාත්මක කිරීම සඳහා)
  • Tripod  එකක් 
  • Light Stand එකක් (ෆ්ලෑෂ් එක හෝ ස්පෝට් ලයිට් එක රැදවීමට)
  • හඳුන් කුරු සහ රඳවනයක්.
  • කළු පහැති පසුබිමක් 

පහත දැක්වෙන ඡායාරුප දෙකෙන්,  මේ වෙනුවෙන් කැමරා ආම්පන්න  අටවාගත් ආකාරය බලන්න.



ඔබගේ ෆ්ලෑෂ් එක හෝ ස්පොට්  ලයිට් එකෙන් වස්තුව වෙත ලබාදෙන ආලෝකය පැති  ආලෝකයක් ලෙස ලබාදෙන්න. එමෙන්ම පසුබිම වෙත ආලෝකය නොවැටෙන ලෙස ආලෝක ප්‍රභවය සකස් කිරීම ඉතා වැදගත් වන බව සලකන්න. මේ සඳහා, මම  ෆ්ලෑෂ් එක කළු කඩදාසියකින් ආවරණය කර, එක්  දිශාවකට පමණක් ආලෝකය ලැබෙන ලෙස සකස් කරගත් ආකාරය පළමු ෆොටෝවෙන් බලන්න.

අනිකුත් වැදගත්ම සාධකය වන්නේ, මෙම කාමරය තුල පවතින පාරිසරික තත්වයයි. කාමරය තුල සුළං ගලායෑම  අවම තත්වයක පැවතිය යුතුය. මේ සඳහා විදුලි පංකා, වායු සමීකරණ ආදිය ක්‍රියා විරහිත කරන්න. සියලුම දොර ජනෙල් වසා දමන්න. කාමරය තුල ඇති වාතයේ කැළඹිලි ස්වභාවය ඉතා අවම වූ විට, හඳුන් කූර  දල්වන්න. ඉන්  ඇතිවන දුම නොයෙකුත් රටා මවන ආකාරය දකින්නට පුළුවන්.

දැන් test shots කීපයක් මගින් අනාවරණය සහ ආලෝකය ලබාදිය යුතු දිශාව තීරණය කරන්න. ඡායාරුප ගැනීමෙන් පසු Photoshop  හෝ Light Room  මෘදුකාංග භාවිතයෙන් සුළුවශයෙන් සකසාගන්න.

මේ තියෙන්නේ මා විසින්  ගත්ත ෆොටෝ කීපයක්. ඕගොල්ලොත් මේ ක්‍රමය අත්හදා බලන්න.








Friday, July 26, 2013

ඩිජිටල් කැමරාවේ ඔටෝ ෆෝකස්


අපි භාවිතා කරණ ඩිජිටල් කැමරා වල ඔටෝ ෆෝකස් (Auto Focus System) පද්ධතිය  ක්‍රියා කරන්නේ කෙසේදැයි යන කරුණ  පිළිබඳව සරල දැනුමක්  ලබා ගනිමු.

ඩිජිටල් කැමරා වල ඔටෝ ෆෝකස් (Auto Focus System) පද්ධතිය  වෙනුවෙන් සෙන්සර, පාලක පද්ධතියක් (Control unit) සහ  මෝටරයක් අවශ්‍ය වේ.  මෝටරය අවශ්‍ය වනුයේ කාචය නාභිගත කිරීම (Focusing) සඳහා වන  අතර, එම මෝටරය කැමරා බොඩිය තුල හෝ ලේන්සය තුල ඇතුලත් කර ඇත.

ප්‍රධාන වශයෙන් ඔටෝ ෆෝකස් ක්‍රමවේදයන් දෙකක් භාවිතා වේ.
1. Active Auto-focus system
2. Passive Auto-focus system

Active Auto-focus system:  මෙම ක්‍රමය ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ  point and shoot cameras වල වන අතර, ඒ සඳහා  අතිධ්වනි තරංග (ultra sonic sound wave)  හෝ අධෝරක්ත කිරණ  (Infra Red (IR) beam) ධාරාවක්  කැමරාවේ සිට වස්තුව වෙත නිකුත්කර, එහි පරාවර්තයන මැනීමෙන්  එම වස්තුවට ඇති දුර පිළිබඳව ගණනය කිරීමක් සිදු කරණ අතර එම ගණනය කිරීමෙන් ලැබෙන දුර ප්‍රමාණයට සරිලන ලෙස කැමරා කාචය නාභිගත කිරීම සඳහා මෝටරය වෙත සංඥාව පාලක පද්ධතිය මගින් ලබා දේ. (දැන් මේ සඳහා බොහෝවිට භාවිතා වන්නේ  අධෝරක්ත කිරණ වේ.)

Passive Auto-focus system: මෙම ක්‍රමය  භාවිතා කරනුයේ  DSLR සහ  Hybrid  කැමරා සඳහාය.  මෙහිදී කැමරාව වෙතින් වස්තුව කරා අතිධ්වනි තරංග  හෝ අධෝරක්ත කිරණ වැනි බලශක්තියක්  නිකුත් නොකෙරේ.   (ආලෝකය මඳ අවස්ථාවන්හිදී  පමණක් Auto-focus assist beam එකක්  ආලෝකය සැපයීම වෙනුවෙන් යොදා ගනී.)  මෙම ක්‍රමයේදී සිදුකරනු ලබන්නේ කැමරාව එම වස්තුව දකිමින් එයට සරිලන පරිදි කාචය නාභිගත කරගැනීමයි. Passive AF ක්‍රමය තවදුරටත් Contrast Detection සහ  Phase Detection. ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදේ.


ඉහත දැක්වෙන්නේ Nikon D80 කැමරාවේ AF modes වේ.

Contrast Detection

මෙම ක්‍රමයේදී, කැමරාවේ ලේන්සය තුලින් විත්  එහි ප්‍රධාන සෙන්සරය (main sensor) මත ඇතිවන ප්‍රතිබිම්බයේ ඇති ආලෝකයේ වෙනස (Contrast) එම  ප්‍රධාන සෙන්සරය මගින්ම මැනීමක් සිදුකරනවා. නිවැරදි නාභිගත වීමකදී, ප්‍රතිබිම්බයේ එක ළඟ ඇති පික්සල් ( pixels) අතර ඇති ආලෝකයේ තිව්රතාවයේ වෙනස (intensity difference)  වැඩි වෙනවා. පාලක පද්ධතිය එහි  ඇති විශේෂිත ඇල්ගොරිදමයක් (algorithm) උපයෝගි කරගනිමින් මෙම ආලෝක තිව්රතාවයේ වෙනස මානනය කරමින්, ලේන්සය ඉදිරියට සහ පසුපසට ගෙනයාම සඳහා මෝටරය වෙත සංඥා නිකුත් කරණ අතර, ආලෝක තිව්රතාවයේ වෙනස  උපරිම වන අවස්ථාව නිවැරදි නාභිගත කිරීම ලෙස තීරණය කරනවා.

සාමාන්‍යයෙන් මෙම Contrast Detection Auto-focus ක්‍රමය සාපේක්ෂ වශයෙන් මන්දගාමී බවක් දක්වනවා. විශේෂයෙන් අඩු ආලෝක තත්වයන් හීදී නාභිගත කිරීමට ගතවන කාලය අධික වන අතර, නාභිගත කිරීමට නොහැකි වීමටද පුළුවන.

බොහෝවිට බ්‍රිජ් කැමරා සඳහා මෙම ක්‍රමය යොදාගන්නා අතර, මුල් කාලයේ DSLR කැමරා සඳහාද මෙම ක්‍රමය යොදා ගනු ලැබුවා.

පහත  ආදර්ශයෙහි ඇති sliding bar එක වෙනස් කරමින් Contrast Detection Auto-focus ක්‍රමය ගැන වඩාත් නිවැරදි අවභෝධයක් ලබාගන්න.












Phase detection.

මෙම ක්‍රමයේදී, කාචය තුලින් ලැබෙන ආලෝක ධාරාව, කුඩා මයික්‍රෝ කාච දෙකක් මගින් දෙකට බෙදා, මේ වෙනුවෙන්ම ඇති සෙන්සර දෙකක් වෙත යොමුකර එම සෙන්සර දෙකෙහි  ඇතිවන ප්‍රතිබිම්බ දෙක සංසන්දනය කිරීමක් කරනු ලබයි. මෙහිදී පාලක පද්ධතිය මෙම ප්‍රතිබිම්බ දෙකෙහි ඇති ආලෝක තිව්රතාවයේ වෙනස සහ වෙන්කුරු දෝෂය (separation error) මැනීමක් සිදුකර ඒ මත කාචය නාහිගත කිරීම වෙනුවෙන් මෝටරය වෙත සංඥා නිකුත් කරයි. මෙම වෙන්කුරු දෝෂය (separation error) මැනීම මගින් කාචය නාභිගත කිරීම සඳහා කරකැවිය යුතු දිශාව (ඉදිරියට හෝ පසුපසට) තීරණය කිරීමේ හැකියාවක්ද ඇත. එබැවින් මෙම ක්‍රමය ෆෝකස් කිරීමේදී වඩා කාර්යක්ෂම වන අතර, දැනට ඇති  සාර්ථකම ක්‍රමය වේ.

පහත  ආදර්ශයෙහි ඇති sliding bar එක වෙනස් කරමින් Phase detection  Auto-focus ක්‍රමය ගැන වඩාත් නිවැරදි අවභෝධයක් ලබාගන්න. එමෙන්ම එහි  flip mirror to take picture ලෙස නම්කර ඇති  check box එක මත click කර බලන්න.

Monday, July 15, 2013

මැක්රෝ ඡායාරුප - Macro photography


මැක්රෝ  ඡායාරුප ( Macro Photography)  ප්‍රවීනයන්ට  මෙන්ම ආධුනිකයන්ට  ද  ඉතා සිත් ගන්නා අංශයක් වේ.  මැක්රෝ ඡායාරුප ගැනීම අපහසු කාර්යයක් නොවුවද ඒ වෙනුවෙන් විශේෂිත උපකරණ යොදාගැනීමට සිදුවීම සමහරක් අවස්ථාවන්හිදී ආධුනිකයන් හට ගැටළුවක් වන අවස්ථාවක් වේ.

බොහෝ අවස්ථාවන්හිදී මැක්රෝ  ඡායාරුප ඉතා සමීප ඡායාරුප සමග පටලවා ගැනීමක්  දක්නට ලැබේ. එබැවින්  පළමුව මැක්රෝ  ඡායාරුප යනු කුමක් දැයි අර්ථ විග්‍රහ කරගැනීම වටි.

මැක්රෝ  ඡායාරුප යනු අප ඇසට පෙනෙන ඉතා කුඩා වස්තුන්ගේ අති සමීප ඡායාරුපයක් වන අතර, එහි ප්‍රතිබිම්බයේ විශාලනය (සෙන්සරය හෝ සේයාපටලය මත ඇතිවන) සජීවී ප්‍රමාණයේ (1:1) හෝ ඊට වඩා විශාල විය යුතුය.


උපකරණ සහ තාක්ෂණික ක්‍රම 

මැක්රෝ  ඡායාරුප ගැනීම සඳහා ඒ සඳහා විශේෂයෙන් සැකසු  මැක්රෝ කාච (Macro  Lens) භාවිතා කල යුතු වෙනවා, මෙම කාච ඉතා මිල අධික වෙනවා.

මැක්රෝ කාච (Macro  Lens) 

මෙම මිල අධික මැක්රෝ කාච (Macro  Lens) යොදා නොගෙන මැක්රෝ  ඡායාරුප ගැනීමේ ක්‍රම කීපයක් ද ඇත. එම ක්‍රම ගැන ද දැනගැනීම වැදගත් වෙනවා. මැක්රෝ කාච යොදා නොගෙන මෙම ක්‍රම මගින්ද ඉතා හොඳ තත්වයේ ඡායාරුප නිර්මාණය කරගත හැක.

Extension Tubes: සෙන්සරය සහ කාචය අතර දුර වැඩි වන පරිදි කාචයත් කැමරා බොඩි එකත් අතරට Extension Tub යෙදීම  මගින්ද මැක්රෝ  ඡායාරුප ගැනීම සිදුකල හැක. මෙය ඉතා ජනප්‍රිය ක්‍රමයක් වගේම මිල අඩු ක්‍රමයක් වශයෙන් ද දක්වන්න පුළුවන්. එමෙන්ම මෙහිදී කාචය ඉදිරියෙන් හෝ පිටිපසින් වෙනත් කාචයක් හෝ පෙරනයක් (optics) සවි නොවන  නිසා ඔබගේ කාචයේ ගුණාත්මක භාවය කෙරෙහි කිසිදු බලපෑමක් සිදු නොවීම ඉතා විගාල වාසියක් වේ.

Extension Tubes

Close-up lens එකක් හෝ Close-up filter  එකක් කැමරා කාචයට ඉදිරියෙන් සවිකිරීම මගින්ද මැක්රෝ  ඡායාරුප ගැනීම කළ හැකි වුවද එය මහින් කාචයේ ගුණාත්මක භාවය කෙරෙහි අති විශාල බලපෑමක් සිදුකල හැක. බොහෝවිට මේ ආකාරයෙන් ගනු ලබන ඡායාරුප වල ගුණාත්මක භාවය, මැක්රෝ කාච  හෝ Extension Tub යොදා ගනු ලබන ඡායාරුප වලට වඩා අඩු වේ.



Reversing Ring : කැමරාවේ සාමාන්‍ය කාචය, එහි ඉදිරිපය කොටස කැමරා බොඩි එකට සවිවන සේ සකස් කර ඇති reversing ring  නමැති උපකරණය මගින් කැමරාවට සවිකිරීම ද තවත් එක්  ක්‍රමයකි.

Reversing Ring එකක් යොදා කැමරා කාචය සවිකර ඇති අයුරු.

Macro Coupler නම් උපකරණය මගින් සාමාන්‍ය කැමරා කාචය එලෙසම තිබියදී එයට ඉදිරියෙන් තවත් කාවයක්  පෙර කි අයුරින්  එහි ඉදිරිපස සසුපසට පිහිටන ආකාරයට සවිකිරීම මගින්ද ඉතා විශාලනයක් සහිත  මැක්රෝ  ඡායාරුප ලබාගත හැක. කැමරා කාච දෙකෙහි ෆිල්ටර් සඳහා ඇති කොටස් දෙක එකට යා කල හැකි ලෙස මෙම Macro Coupler ring එක සකසා ඇත.





බ්‍රිජ් සහ "point and  shoot" කැමරා වල ලෙන්ස් මාරු කිරීමේහැකියාව නොමැති නිසා, ඒ කැමරා වල මැක්රෝ  ඡායාරුප ගැනීම සඳහා වෙනමම බොත්තමක්  ඒ වෙනුවෙන් ලබා දී ඇත. මෙවැනි අවස්ථාවකදී එම බොත්තම එබීමෙන් මැක්රෝ සක්‍රිය කරගත හැක. 



මැක්රෝ  ඡායාරුප කරණයේ අංශ කීපයක්.

සමනලුන් : ඉතා කුඩා සමනලුන් මැක්රෝ  ඡායාරුප කරණයේ ඉතාම සිත් ගන්නා  අංශයක් වන අතර මොවුන් වෙත ලඟා වීම ඉතා ඉවසීමෙන් මෙන්ම සීරුවෙන් කල යුත්තක් වෙනවා.




ජල බිඳු : වර්ෂාවකට පසු හෝ හිමිදිරි පාන්දර දකින්නට ලැබෙන ජල  බිඳු ද ඔබගේ මැක්රෝ  ඡායාරුප  වලට ඇතුලත් කරගත හැක.




මල්: ඉතා කුඩා මල් සහ කොළ වර්හ ද සිත් ගන්නා සුළු මැක්රෝ  ඡායාරුපයන්  වේ.




කෘමින්: ඉතා කුඩා කෘමින් ද ඔවුන්ගේ වර්ණ සහ හැඩතල ඉස්මතුවන ආකාරයට මැක්රෝ  ඡායාරුප වලට ලක් කල හැක.




Saturday, July 13, 2013

Silhouette Photography


අද අපි කතා කරන්න යන්නේ  Silhouette Photography ගැන. මෙය ආලෝකයට විරුද්ධව ඡායාරුප ගැනීම යන අර්ථයෙන් Against the light  photography  කියාත් හඳුන්වනවා.  සිලුවට් ඡායරුපයකදී, අපි ඡායාරුප ගත කරණ  වස්තුව තනි පැහැයකින්, බොහෝ විට කළු පැහැයෙන්  යුක්ත වන අතර පසුබිම සුදු හෝ දීප්තිමත් වර්ණයක් ගනී.

සිලුවට් ඡායාරුපයක් ගැනීම සඳහා ආලෝකයට විරුද්ධව ඡායාරුපය ගතයුතු වෙනවා. තවත් විදිහකින් කියනවා නම්, අපි සාමාන්‍යයෙන් ඡායාරුප ගැනීමේදී, ආලෝක ප්‍රභවය, ඡායාරුප ශිල්පියාගේ පිටුපසින් සිටින ලෙස ස්ථාන ගත කලත් මෙහිදී කරන්නේ ආලෝක ප්‍රභවය ඡායාරුප ශිල්පියාගේ  ඉදිරියෙන් සිටින ලෙස ස්ථාන ගත කිරීමයි.

ස්වාභාවික ආලෝක තත්ත්ව යටතේදී මෙන්ම ස්ටුඩියෝ එකක්  තුල  කෘතීම ආලෝක යටතේදීද සිලුවට් නිර්මාණය කල හැක. සිලුවට් ඡායාරුපයක් නිර්මාණය කිරීම සඳහා එහි අඳුරු  සහ ආලෝකමත් කොටස් අතර ආලෝකයේ වෙනස (contrast) ඉතා වැඩි විය යුතුයි. මෙලෙස ආලෝක වෙනස වැඩිවීම නිසාම අඳුරු කොටස් වල විස්තර (details) සටහන් නොවීම සිදුවෙනවා. 

සිලුවට් ඡායාරුපයක් නිර්මාණයේ අනිකුත් වැදගත් සාධකය වන්නේ අනාවරණයයි. මෙහිදී අපි අනාවරණය ලබාදිය යුත්තේ පසුබිමට නිවැරදි අනාවරණයක් ලැබෙන ලෙසයි,  එවිට වස්තුව මන්ද අනාවරණයට ලක්වීම නිසා තනි කළු පැහැයක් ගන්නවා 

සිලුවට් ඡායාරුපයන්  හි ඇති වස්තුන්ගේ details නොපෙනීම  නිසාම එම ඡායාරුප වලට නොයෙකුත් අර්ථකතනයන් දිය හැකිවෙනවා. පහත ඇති ඡායාරුපය බලන්න.


මෙම ඡායරුපයට දිය හැකි අර්ථකථනයන් මොනවාද?

ඇය දුකෙන් සිටිනවා ?
ඇය   තනිකමින් සිටිනවා?
ඇය නිදසහේ සිටිනවා?

මෙවැනි නොයෙකුත් අර්ථකතනයන් දියහැකි වෙනවා. එම නිසාම මේ සිලුවට් ඡායාරුප බොහෝ සෙයින් භාවාත්මක ස්වභාවයක් ගන්නා බව මගේ හැඟීමයි..

පහත ඇති සිලුවට් කිහිපය බලන්න.





Friday, July 12, 2013

2013 වෙසක් බලන්න.

ISO 100, f 7.1, 1/15"

ISO 800, f 4, 1/60"

ISO 3200, f 5.3, 1/10"

ISO 3200, f 5.6, 1/13"

ISO 3200, f 5.3, 1/25"

ISO 3200, f 3.5, 1/25"

ISO 100, f 13, 5"

ISO 100, f 20, 5"

ISO 800, f 5.6, 1/5"

ISO 800, f 5.6, 1/3"